සංවර්ධන නිලධාරිනියෝත් ප්‍රසූත නිවාඩු ඉල්ලති



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ සේවය කඩිනමින්  ස්ථීර කරන්නැයිද, රජයේ සේවිකාවන්  සඳහා අනුමත ප්‍රසූත නිවාඩුව සංවර්ධන නිලධාරිනියන්ටත් ලබා දෙන්නයි ද ඉල්ලා  ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් කොළඹ දී අද (15) පැවැත්විණි.

රාජ්‍ය සේවයට බඳවාගෙන දැනට වසරකට වඩා පුහුණු කාලයක් මේ වන විට සම්පූර්ණ කර ඇති නමුදු තමන්ට ස්ථීර පත්වීම ලබාදී නැතැයි ඔවුහු පැවැසූහ.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට ලිප්ටන් වටරවුම දක්වාත් එතැන් සිට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම දක්වාත් විරෝධතා පාගමනක යෙදුණු සංවර්ධන නිලධාරීහු ලිබර්ටි වටරවුම අසල නැවත උද්ඝෝෂණයේ යෙදී පසුව විසිර ගියහ.