සඳ-හිරු සෑයේ හතරැස් කොටුව ඉදිවෙමින්



 (මනුල වික්‍රම)
 
තිස්වසරක යුද්ධය නිමාකර මානුෂීය මෙහෙයුමින් රට නිදහස් කිරීම සංකේතවත් කරමින් අනුරාධපුරය පුදබිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය අද (04) වනවිට සලපතල මළුවේ සිට අඩි 122ක්  උස ප්‍රමාණයක් ඉක්මවන පරිදි නිමවා තිබේ.
 
මේ දිනවල ඉදිවෙමින් පවතින්නේ, සෑයේ හතරැස් කොටුවය. වැඩ අවසන් වන විට දාගැබේ උස අඩි 282.6ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. රුවන්වැලි මහසෑයේ ම ආකෘතියට ම සකසා ඇති, එහෙත් එම  සෑයට වැඩා අඩි 18ක් අඩු උසකින් නිර්මාණය වන සඳහිරු සෑය විෂ්කම්භයෙන් අඩි 255කි.
 
යුද්ධයේ දී මිය ගිය 27, 000ක් වූ රණවිරුවන්  අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37000ක පිරිසක්, එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලු ජනතාව සිහිකිරීම උදෙසා මෙම සෑය ඉදිකරන්නේ ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහසෑයක් ඉදිවුණේ පොළොන්නරු යුගයේ දී එනම් 152-186 සමයේ මහාපරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑයයි.
 
දාගැබ සඳහා මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 22වැනිදාය. ගර්භයේ ධාතු නිධාන උත්සවය 2014 නොවැම්බර් 23වැනිදා භික්ෂූන් දහස්ගණනක් සහභාගී වූ රාජකීය උළෙලක්ව සංවිධානය කෙරිණි. මේ වසරේ නොවැම්බර් මාසය වන විට හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය වෙනුවෙන් එහි කටයුතු කරමින් පවතී. ලබන වසර වන විට සඳහිරුසෑයේ කොතේ වැඩ අවසන් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
 
දාගැබ ඉදිකිරීම සඳහා අලු හුණු මෙට්‍රික් ටොන් 11165ක්, සිමෙන්ති කොට්ට  171,000ක් සහ වැලි කියුබ් 15,000ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
 
මෙම සෑය සඳහා බෞද්ධ  සැදැහැවතුන්නේ ආධාර මුදල් හා හමුදා සාමාජිකයින්ගේ දායක මුදල් යොදාගැනේ. නිදහස් දිනය දා අනුරාධපුර මහ නගර සභාවේ බෞද්ධ සංගමයේ සාමාජිකයෝ 250ක පමණ පිරිසක් එහි ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබාදුන්හ.