සබරගමු මහ සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය



(අජිත්ලාල් ශාන්තඋදය )


ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 2018 වසරේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය අද (26)  දිය කැපීමෙන් පසු අවසන් විය. 

කලූගඟේ මල්වල පිහිටි රතඹලා ඇල්ලේ දී සාම්ප‍්‍රදායික ගඟේ පෙරහරින් ගොස් දිය කැපීම සිදුකර ගිය මග ඔස්සේ ම දහවල් ආපසු පැමිණියේය.

සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහර ඊයේ (25) රාත‍්‍රී වීදි සංචාරය කර දේවාලයට ගෙවදීම සිදුවිය. ඉන්පසු අද  අලූයම් කාලයේ දිය කැපීමේ පෙරහර දේවාලයෙන් පිටත්විය. 

දේවාල වීදිය ඔස්සේ රත්නපුර පානදුර පාරට පැමිණ එතැන් සිට කොටාඹේ තොටුපල දක්වා අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සමුප‍්‍රදායට අයත් නර්ථනාංග සහිතව පෙරහර පැමිණියේ ය.

කොටාඹේ තොටුපලේ  ඔරු අඟුල් සුදානම් කර තිබූ අතර එතැන් සිට මල්වල රඹලා ඇල්ල දක්වා පෙරහර ගඟ දිගේ ගමන් කළේ ය.

ශ‍්‍රීලංකාවේ පැවැත්වෙන එකම ගඟේ  පෙරහර මෙයයි. කිලෝ මීටර් පහකට වැඩි දුරක් කලූගඟ දිගේ පෙරහර ඉහළට ගමන් කර රතඹලා ඇල්ලේ දී දිය කපා යළි ගිය මග ඔස්සේම ඔරු අඟුල් වලින් කොටාඹේ තොටුපළ දක්වා පෙරහර පැමිණෙයි. 

දිය කපා ආපසු එන ගඟේ පෙරහරට පඬුරු දමන්නට, පූජා වට්ටි පූජා කරන්නට බැතිමතුන් ගඟට බැස සිදු කරති. 

පෙරහර පැවති අද (26) කලූගඟේ ජල මට්ටම ද පෙරහර ගමන් කිරිමට පහසු මට්ටමක පැවතිනි.