සමගි ජනබලවේගය ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවක


(නිමල කොඩිතුවක්කු)

කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගය කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද (22) විරෝධතාවක නිරතවිය.

පුරාවස්තු විනාශ කළ කුරුණෑගල නගරාධිපතිවරයා අත්තඩංගුවට ගෙන වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි විරෝධතාකරුවෝ එහිදී රජයෙන් ඉල්ලීමක් කළහ.

අද දහවල් 12 සිට කොළඹ ලිප්ටන් වටරවුමට රැස්වූ විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වූහ.

විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉරාන් වික්‍රමරත්න, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසීය

     ‘‘කුරුණෑගල නගරාධිපතිවරයා විසින් රාත්‍රීයේදී හොර රහසේ නගරයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කර තිබෙනවා. රජය කමිටු පත් කරමින් කල් මරමින් සිටියත් අදවන තෙක් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කර නැහැ.

මේ ආණ්ඩුව එක රටක් එක නීතියක් කියා බලයට පත් වුණත් පොහොට්ටුවට සම්බන්ධ පිරිස් වලට එක නීතියකුත් විපක්ෂයට සහ සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වනවා.

පුරාවිද්‍යා පනත යටතේ පන්සලක ලිදක් කැපුවත්, ගෙදරක දොරක් වෙනස් කරත් නීතිය ක්‍රියාත්මක කරන යුගයක පුරාවස්තු විනාශ කිරීමේ වරදට නගරාධිපතිවරයා  අත්අඩංගුවට ගන්නෙ නැත්තේ ඇයි කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

තමන් දිස්ත්‍රික් නායකයාව සිටින තෙක් කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගහකට වත් හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඇයි මේ අයට නීතිය ක්‍රියාත්මක නොවන්නේ කියලා සමගි ජන බලවේගය විදිහට අපි ප්‍රශ්න කරනවා.

මේ ආණ්ඩුව ජනතාද්‍රෝහී කටයුතු වලට එරෙහිව අපි අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරනවා. සැමට සමාන නීතියක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රජයක්  සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්  අගෝස්තු 5 දා අපි බිහි කරනවා‘‘ යැයිද ඔහු එහිදී පැවසීය.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවයේ නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

(ඡායාරූප : ලහිරු හර්ෂණ)