සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති


( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප‍්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති   කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ.

පාගමනේ යෙදුණු පිරිස් පස්වරු 3.00 ට පමණ වේවැල්දෙනිය ඉන්ධන පිරිවුම් හල ආසන්නයේදී නැවතී දිවා ආහාරය ගත් අතර  ඉන් සමහරක් පාසල් බිමේදී ආහාරය ගත්හ.

අද උදෑසන පාසලට පැමිණි අවස්ථාවේ පාසල් බිම පුරා හිස් වතුර බෝතල්, කඩදාසි, මෙන්ම ඉඳුල් අඩංගු ආහාර එතූ කඩදාසි ආදිය තැන තැන දමා තිබූ අතර දෙමාපියන් හා සිසුහූ ඒවා එක් රැස් කිරිමට පියවර ගත්හ. ඒවා එකතුකිරීමෙන් පසු විශාල කුණු ගොඩක් දකින්නට ලැබුණු අතර අවසානයේ දෙමාපියෝ එම කසල ගොඩට ගිනි තැබූහ.

පාසල් දරුවන් ඉතා  ඕනෑකමින් පිරිසිදුව පවත්වාගෙන යන පාසල් බිම මෙසේ විනාශ කර ඇත්තේ සෞඛ්‍යය පිළිබදව දැන උගත් බවට සැලකෙන පිරිසක් විසින් වීම ඉතා කනගාටුවට කරුණක් වන බව දෙමාපියෝ පැවසූහ.