සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්‍ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය.

තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය අත්තනෝමතිකව සාපරාධී ලෙස ඉඩනොදීම පිළිබඳව විරෝධය දක්වමින් තම ගැටලුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැන්වීමේ අරමුණින්, තම දෙමාපියන් ද සමඟ ඔහු උපවාසය ආරම්භ කළේය.

ඔහු පවසන්නේ 2005 වසරේ මාර්තු 15 වැනිදා සිට  වසර 05ක් තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර , විශ්‍රාම වැටුප් හිමි තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 2010 වසරේ අගෝස්තු 03 වැනිදා සිට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය ඉඩ නොදීම නිසා මේ වනවිට වසර 10 කට වැඩි කාලයක් වැටුප් පවා නොලබා සිටීමෙන් තමන් ඇතුළු සිය පවුලම ඉතා අසරණභාවයට පත්ව ඇති බවය.

මෙම අසාධාරණයට සහනයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර එහිදීද තීරණය වී ඇත්තේ මෙය අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහුට වහාම සේවයට වාර්තා කිරීමට ඉඩ දෙන ලෙසය. එනමුදු විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා දැන් තම දුක්ගැනිවිල්ල කීමට ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.