සෙල්ලන්කන්දල් තනි දළයා මරුට


සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. 

වයස අවුරුදු තිහක් පමණවූ මෙම ඇතා ප්‍රධාන මාර්ගය අසල අලිවැට ආසන්නයේ නිරන්තරයෙන් සැරිසැරූ අඩි නවයක් පමණ උස පිරිපුන් දේහයක් සහිත ඇතෙකි. දිනකට පමණ පෙර දඩයම් කරුවකුගේ වෙඩි පහරකින් ඇතා මියයන්නට ඇතැයි නිලධාරීහු සැක කරති.

රක්ෂිතයට හරක් බැලීම සඳහා ගිය පුද්ගලයකු මියගිය ඇතා දැක වනජීවී නිලධාරීන් දැනුම්වත් කර ඇති අතර  ඇතාගේ දේහයේ වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල කිහපයක්ද දක්නට ඇත. කුමන හේතුවක් නිසා ඇතා මියයන්නට ඇත්දැයි පරික්ෂණ පැවැත්වීමට වනජීවී පශු වෛද්‍යවරයෙකු අද දින පැමිණීමට නියමිත බව වනජීවී පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.