සෝමාවතීයට පිවිසෙන මාර්ගය බිම්ගල් අතුරා සකස් කරයි


 

 

 

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතීය පුදබිම වෙත පිවිසෙන අභ්‍යන්තර රවුම් මාර්ගය රුපියල් දස ලක්‍ෂ 15ක පමණ වියදමින් බිම්ගල් අතුරා සකස්කර වන්දනා මාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා විවර කරදීමේ උතුම් පිංකමක් අද (21) සිදුකෙරිණි.

පරලෝ සැපත් සිය මාපියන්වන හිටපු ගම්පති ඇල්බට් සිරිසේන මහතා සහ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී නන්දාවතී සිරිසේන මහත්මියට පිං පිණිස මේ මාර්ගය ඉදිකිරීම සඳහා බැතිබර දායකත්වය දරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ සොයුරු,දානපති,පොලොන්නරුව,ලක්‍ෂඋයන කේ.එම්.සී.සී ව්‍යාපාරයේ අධිපති කපිල ගාමිණී සිරිසේන මහතා විසිනි.

සෝමවතිය රාජ මහා විහාරාධිපති,ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මාර්ගය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූහ.

උතුර, උතුරු මැද,නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක,පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩම කළහ.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්,අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.