හිමිවරු 100 නමක් ලේ දන්දෙති


(ප්‍රදීප් කුමාර)

යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක්   යාපනය දිස්ත්‍රික්කයේ දමිළ ජනතාව වෙනුවෙන් රුධීරය පරිත්‍යග කිරීම අද යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.
 
මෙම වැඩසටහන මැදගොඩ අභය තිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය.

කොළඹ සිට බස් රථවලින් යාපනය රෝහලට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙසේ ලේ දන් දුන්හ. භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ මෙසේ ලේ දන්දීම රුධිර අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීනට විශාල අස්වැසිල්ලක් බව  යාපනය රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ ලේ දන්දීමෙන් පසු මෙසේ කීහ.


“යාපනය රෝහලේ රෝගීන්ට ලේ හිඟයක් නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දෙනවා අප මාධ්‍යයෙන් දැක්කා.  භික්ෂූන් වහන්සේලා හැටියට අපත් කල්පනා කරා මේ අහිංසක රෝගීන්ට පිහිට වෙන්න“


“රටක් හැටියට අපි හැමෝම එකයි. උතුරේ සිට රට පුරා සිටින සෑම කෙනෙක් ගැනම අපි සොයා බලනව. ඔවුන්ගේ දුකේදී අපි පෙනී සිටිනවා. සංහිඳියාව කියන්නේ තවත් ජාතියක් පාගාගෙන තවත් ජාතික් ඉදිරියට ඒම නොවේ. මෙයයි සැබෑ සංහිඳියාව. අපි හැමෝම හදවතින් සමීපයි. කෙයි කාගෙත් දුකේදී ඔවුනට පිහිට වීම භීක්ෂූන් වහන්සේ හැටියට අපේ වගකීමක්. මෙහිදී අපි නියොජනය කළේ මුළු සිංහල ජාතිමයි“ යයිද අභයතිස්ස හිමියෝ පැවසූහ.