හෙළයේ මහ ගොවියාගේ අලුත් සහල් මංගල්‍ය මහ ඉහළින්



හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (8)  පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබුණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
අනතුරුව වස විස නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ විසින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කරන ලදි.