හෝටලය පෙනෙන්න ඕනෑ නිසා මහගස් මුදුන් කපා දමයි


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල කණ්ඩලම වැවේ දර්ශනය සංචාරක හෝටලයකට පෙනීම  සඳහා  මහවැලි අධිකාරියේ කණ්ඩලම කාර්යාලයේ නිලධාරීන් එක්ව  වැව ඉස්මත්තේ ඇති ඉතා වටිනා ගස් කොළන් කිසිදු ඉවක් බවක් නොමැතිව කපා දමා විනාශ කර  ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙසේ වැව් ඉස්මත්තේ ඇති ගස්වල ඉහළ කොටස් එක පෙළකට කපා දමන බවට ලැබුණු තොරතුරක් මත කණ්ඩලම වැවේ සොරොව්ව ආසන්නයට ගිය විට පුද්ගලයන් කිහිපදෙනෙකු ගස් කපමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

ගස් කපමින් සිටි පිරිස වැව ආසන්නයේම පිහිටි සංචාරක හෝටලයකින් යෙදවූ කම්කරුවන් පිරිසක් බවට තොරතුරුද අනාවරණය විය.

කණ්ඩලම වැව ආසන්නයේ සිටි කාන්තාවක ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මහවැලි අධිකාරියේ නිළධාරියෙකු සමඟ පැමිණ පිරිසක් වැව් ඉස්මත්ත ගස් වල ඉහළ කොටස්  කපා දැමූ බවය. 

එක පෙළකට පිහිටි කුඹුක් , අන්දර , කරද , ගොඩ කිරිල්ල , ආදි වැව් තාවුල්ලේ පිහිටි ගස් රැසක් ක ඉහළ කොටස් කපා දමා වැව් තාවුල්ල මතම දමා තිබේ.

මහවැලි අධිකාරියට අයත් මෙම ප්‍රදේශය කණ්ඩලම වැව බාර ඉංජිනේරු සහකාර ධම්මික බණ්ඩාර හේරත් මහතා හමුවීම සඳහා කාර්යාලයට ගිය ද ඔහු නොසිටි අතර  සේවකයකු කියා සිටියේ ඉංජිනේරුවරයා හදිසි ගමනක් ගිය බවය. 

පසුව ජංගම දුරකතනය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත් විට ඔහු කියා සිටියේ විශාල පිරිසක් කණ්ඩලම වැවේ දිය නෑම සඳහා පැමිණෙන බවත් එම ජනතාවගේ හිස මතට ගස් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා ගස් වල කොටස් ඉවත් කළ බවයි.එමෙන්ම අලුතින් කුඹුක් පැළ  සිටුවන බවද කිවේය .