‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි


හර්ෂණ තුෂාර සිල්වා
 
 
ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද (22) පෙරවරුවේ ආරම්භ විය. 
 
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නවවැනි වරටත් මෙම කතිකාව සංවිධානය කර තිබිණි. 
 
“සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම” යන්න මෙවර ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ තේමාව ලෙස නම් කර ඇත.
 
සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිය ආරම්භ කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පිළිගැනීමේ කතාව කළ අතර රණසිංහ මහතා සම්මන්ත්‍රණයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් ද කියවීය.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 
 
මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීහු ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. 
 
සාගර දැක්ම, සාගර පාලනය, ඉන්දීය සාගරය සහයෝගයෙන් කළමනාකරණය කළ හැකි ද?, මානුෂීය සහාය සහ ආපදා සහන, නීල ආර්ථිකය, සාගර පාලන ප්‍රදේශය පිළිබඳ අවබෝධය යන තේමා යටතේ සැසිවාර පැවැත්වීමට නියමිතය.
 
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ අඟහරුවාදා (23) අවසන් වේ. 
 
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා