‘‘ජනපතිගේ වැඩපිළිවෙළට හැමෝම ආශිර්වාද කළ යුතුයි‘‘


නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.

රට විශාල ණය බරකට මුහුණ දී තිබේ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.

නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

අනුරාධපුර අටමස්ථානය වන්දනා කරගැනිමට ගිය ජනපතිවරයාට ආශිර්වාද කරමින් උන්වහස්සේ මේ බව කියා සිටියේය.

මිරිසවැටිය,ලංකාරාමය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථනවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා මහා සංඝයා වහන්සේලාට පැහැදිලි කළේය.