‘‘දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවා‘‘


 

(නිමල කොඩිතුවක්කු)

දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(16) පැවසීය.

රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු නොවන බවත් ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, කිරිපිටි පොල්ම්, හාල් සීනි පෝලිම් ඒක්ක පෝලිම් යුගයක් අද මේ රජය බිහිකරලා හමාරයි. රටට බත් දුන් පියා ඩඩ්ලි සේනානායක මහතායි. එතුමා 1967 මුල්ගල් තියලා 1969 විවෘත කරපු අපේ තෙල් පිරිපහදුව වසර පනස් ගණනකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් නැතුව වහලා තියෙනවා.

බොරතෙල් ගන්න සල්ලි නැති ආණ්ඩුවට පිරිපහදු කරපු තෙල් ගන්න ඩොලර් තියෙනවා. මේ හදන්නේ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ක්‍රමවේදයන් මගින් රටත් ජන ජීවිතත් කඩා වැටී ඇති මොහොතක කොමිස් ගැසීමටයි. මිනිස්සු කුසගින්නේ සිටින මොහොතක මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භණේඩ හිඟයක් තිබෙන මොහොතක මේ ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිටිනවා. අද පොලිස් ක්‍රියාදාමයන් තුලින්, පගාවෙන් අල්ලසින් තමන්ගේ බඩ වඩා ගන්න මේ ආණ්ඩුවේ උදවිය කටයුතු කරමින් සිටිනවා.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ගයාන් අමරසේකර)