‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘


රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු යැයි අවධාරණය කළහ.

ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේ වරාය නගර ව්‍යාපෘතියෙන් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරැව මහා සංඝරත්නය එලෙස අවධාරණය කළහ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදී එම ව්‍යාපෘතිය සදහා ජනතා සහය ලබාගත යුතු යැයිද උන්වහන්සේලා අවධාරණය කළහ.

බෞද්ධ උපදේශක සභාව 10 වැනි වතාවටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරමින් කරැණු ඉදිරිපත් කලහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතියෙන් ශී ලංකාවේ ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.

එම කරැණු දැක්වීම් වලින් අනතුරැව ශී ලංකාවේ භූමි ප්‍රමාණය පුළුල් කර රටට නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඒ සදහා ජනතා සහය ගත යුතු යැයිද අවධාරණය කළහ.

ඉන් අනතුරැව ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා කොවිඩ් 19 නව ප්‍රභේදය පිළිබදව හා සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබදව මෙන්ම ඒ සදහා ගතයුතු කියාමාර්ග පිළිබදව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන් අතර ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරි සභා වාරයේ දී ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.