‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘


(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ.

එය සංකේතත් කරමින් සියලු ක්‍රිස්තියානි ආගමික නායකයින් හා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අද පස්වරුවේ මීගමුවේදී පා ගමනක් පවත්වන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

කොළඹ අගදරගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති ‘ දෙවසරක පාස්කු කඳුළ’ වැඩසටහනට එක්වෙමිනි.

අප්‍රේල් 21 වැනිදා දිනය අමතක නොවන ඛේදනීය දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බව කී කාදිනල්තුමෝ කාලයේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත්කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධවීමට කිසිසේත්ම සූදානම් නැතැයිද පැවසූහ.

වසර දෙකක් ගතවුවත් මේ මිනිස් සංහාරය සිදුකළේ කවුද, කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් අපොහොසත් වී තිබීම විශාල ප්‍රශ්නාර්ථයක් බව කී අගරදගුරුතුමෝ රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්‍ෂමතාවය කිසිකෙනෙකුට වරදක් නොකළ දරුවන් 68ක් සහ වැඩිහිටියන් 201 ක් ඇතුළු 269 දෙනෙකු අමුඅමුවේ ඝාතනය කළ මේ කුරිරු මිනීමැරුම කෙරෙහි ක්‍රියාත්මක නොවීට ගැටලුවන් බව ද කියා සිටියහ.

එදා පැවති රජයත්, වත්මන් රජයත් පෙන්වන උදාසීනබව, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා, ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව බලවත් ශෝකයක් පවතින බවත් එම ක්‍රියාදාමය පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව කාටත් පැහැදිලි වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කියා සිටියහ.