’සුප ශාස්ත්‍ර හා ආහාර’ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි


(ඩයනා උදයංගනී,ඡායාරූප - ඉෂාන් සංජිව)

ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය මගින් 17 වැනි වරටත් සංවිධානය කරන ‘‘සූප ශාස්ත‍්‍ර හා ආහාර’’ ප‍්‍රදර්ශනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (28) විවෘත කැරිණි.

ආසියාවේ විශාලතම ආහාර ප‍්‍රදර්ශනය මෙය බව එහි සංවිධායකයින් ප‍්‍රකාශ කරන අතර මෙම ප‍්‍රදර්ශනය සෙනසුරාදා (29) සහ ඉරිදා (30) දෙදින පැවැත්වේ.
දිවයින පුරා සිටින ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනූ හා දක්‍ෂ සූපවේදීන්ට තම දක්‍ෂතා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබෙන අතර සූපවේදී තරග හා ආහාරපාන ප‍්‍රදර්ශන ද මෙහිදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

මංගල කේක් ආකෘති, බටර් නිර්මාණ, ආහාර සැරසිලි, පාන් සැරසිලි ආදිය ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.

ඩුබායි, ඉන්දියාව සහ මාලදිවයින ආදී රටවල සූපවේදීන් මේ සඳහා එක්ව සිටින අතර ඊට අමතරව මෙරට හෝටල් 165ක් නියෝජනය කරමින් සූපවේදීහු 1700ක් පමණ ද මේ සඳහා එක්ව සිටිති.

මෙහි පැවැත්වෙන තරග විනිශ්චය සඳහා ලෝක සූපවේදී සංවිධානය නියෝජනය කරන ප‍්‍රකට සූපවේදීන් 31 දෙනෙකු සහභාගීවීමට නියමිතය.