⁣ජේතවන ස්තූපය සංරක්ෂණයට පියවර


(දයාරත්න ඇඹෝගම)

පසුගිය දිනෙක පිපිරීමට ලක්වූ ඓතිහාසික ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ජේතවන ව්‍යාපෘතියේ කළමණාකරු ගාමිණී අබේරත්න මහතා අද(15) පැවසීය.

ක්‍රි.ව. 3 වන සියවසේ දී මහසෙන් රජු දවස ඉදිකරන ලද ජේතවන දාගැබ එවක ගඩොලින් ඉදිකළ ලොව විශාලතම ස්මාරකය ලෙස සැලකිණි.

වසර සිය ගණනක් ගරා වැටෙමින් තිබු මෙම දාගැබ ඇතුළු අක්කර දෙසීයක පමණ ප්‍රමාණයක පැතිර පවතින සෙසු ආරාමික ගොඩනැගිලි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සං‍රක්ෂණය කොට තහවුරු කරනු ලැබීය.

මාස කීපයකට පෙර දාගැබේ හතරැස් කොටුව පාමුල සිට සිව්දිසාවකින් ස්තූප ගර්භය ඉරිතලා ගියේය.

කෙසේ වෙතත් එම ඉරිතැලීම් සිදුවූ ප්‍රදේශ සං‍රක්ෂණය කර මාස කීපයක් ඇතුලත යථා තත්වයට පත්කරන බව මේ සම්බන්ධයෙන් අපකල විමසුමේදි ව්‍යාපෘති කළමණාකරු ගාමිණී අබේරත්න මහතා පැවසීය.