“අම්මගේ ජීවිතේ නැති කරලා මමත් යනවා...”


ගිලන් වූ බිරිඳට තමාට පසු සලකන්නට කෙනෙක් නැතිවේ යැයි බියෙන් 78 හැවිරිදි සැමියා බිරිඳ ඝාතනය කර දුම්රියට පනී

දෑස් නොපෙනී, දෙපා වාරු නොමැතිව ගිලන්ව සිටින තම ආදරණීය බිරිඳ, තමාට පෙර මියගියහොත් ඇයට සැලකීමට කිසිවෙකු නොමැති වනු ඇතැයි සිතූ වයෝවෘද්ධ සැමියෙකු, සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර, තමාද දුම්රියකට පැන දිවි තොර කරගැනීමේ අතිශය අනුවේදනීය පුවතක් කිරිඳිවැල, ඉඹුල්හේන, මාගල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය 29 වැනිදා සවස 5.00 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා කිරිඳිවැල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඉඹුල්හේන ප්‍රදේශයේ අදාළ නිවසට ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී නිදන කාමරයේ ඇඳ මත ගෙල කපා ඝාතනය කර සිටි 75 හැවිරිදි චන්ද්‍රලතා විජේවර්ධන නමැති කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

පොලිසිය එම ස්ථානයට යන විට ඇගේ සැමියා වන 78 හැවිරිදි ඒදිරිසිංහ ආරච්චිලාගේ අමරසේන එහි සිට නොමැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශ කම්කරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටි අයෙකු වූ ඔහු, පොලිසිය එම ස්ථානයට යන විට නිවසින් අතුරුදන්ව සිටියේය.

නිවස තවදුරටත් සෝදිසි කිරීමේදී, අමරසේන විසින් තම දියණියට සහ පුතාට ලියූ සංවේදී ලිපියක් පොලිසියට හමුවී ඇත.

”දැන් අම්මට යන්න එන්නත් හොඳටම අමාරුයි. ඔයගොල්ලන්ට දුක් විඳින්න දෙන්න බැහැ. මගේ කකුල් හිරි වැටිලා, දණහිස් අමාරුයි. අපි දෙන්නගෙම ඇස් පේන්නෙත් නැහැ. ඒ නිසා අපි දෙන්නට දුක් විඳින්න වෙනවා. අම්මගේ ජීවිතේ නැති කරලා මමත් ජීවිතේ නැති කරගන්නවා. ඕගොල්ලෝ කණගාටු වෙන්න එපා. හිත හදාගෙන හොඳින් ජීවත් වෙන්න. අපි දෙන්නගෙම අවසන් කටයුතු අපේ ගෙදරම තියන්න පුළුවන් විදිහට කරන්න...”‍ යනුවෙන් එම ලිපියේ සටහන්ව තිබිණි.

මෙම යුවළගේ පුතා සහ දියණිය විවාහ වී වෙනම ජීවත් වන අතර, අමරසේන සිය විශ්‍රාම වැටුපෙන් බිරිඳට හොඳින් උපස්ථාන කරමින් ජීවත් වී ඇත. ”‍අපි දන්න කියන කාලයක ඉඳලම අම්මයි තාත්තයි පුදුම සමගියකින්, ආදරයකින් තමයි ජීවත් වුණේ,” යැයි දරු දෙදෙනා කඳුළු සලමින් පවසා තිබේ. අසල්වැසියන්ද පවසන්නේ ඔවුන් කිසිවෙකුටත් කරදරයක් නොමැතිව තම පාඩුවේ ආදරයෙන් ජීවත් වූ අඹුසැමි යුවළක් බවයි.

කෙසේ වෙතත්, තමාට පෙර බිරිඳ මියගියහොත් ඇයට උවටැන් කිරීමට කෙනෙකු නොමැති වීම පිළිබඳව අමරසේන නිතර අසල්වාසීන් සමග කනස්සල්ලෙන් කතා කර තිබේ. ආදරයෙන් රැකබලා ගත් සැමියා මෙවැනි ඉරණමක් තමාට අත්කර දෙනු ඇතැයි බිරිඳ සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
බිරිඳ ඝාතනය කිරීමෙන් පසු නිවසින් පිටව ගිය අමරසේන, එදින (29) සවස් කාලයේ දන්දෙණිය දුම්රිය ස්ථානයට නුදුරේදී කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබූ අංක 1164 දරන දුම්රියට පැන සිය දිවි හානිකරගෙන තිබේ. දිගු කලිසමක් සහ කමිසයකින් සැරසී සිටි පුද්ගලයෙකු දුම්රියේ ගැටුණු බවට දුම්රියේ රියදුරු විසින් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට කළ දැනුම් දීමක් මත, වේයන්ගොඩ පොලිසිය මගින් සිරුර භාරගෙන පරීක්ෂණ ආරම්භ කර තිබිණි. පසුව පවුලේ ඥාතීන් විසින් මියගොස් ඇත්තේ අමරසේන බවට හඳුනාගන්නා ලදී. වසර ගණනාවක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු, අවසානයේ සිය ජීවිතය නිමා කිරීමටද දුම්රියක්ම තෝරාගැනීම දෛවෝපගත සිදුවීමකි.

පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හංස දේව සමරදිවාකර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සමන්ත රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී. 

පියාගේ අවසන් ඉල්ලීමට අනුව, දරුවන් විසින් මවගේ සහ පියාගේ දේහයන් නිවසේ තැන්පත් කර අවසන් කටයුතු සිදුකර තිබේ.

බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත, කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ජයතිලකගේ ප්‍රධානත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.කේ. කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබූහ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
(ඡායාරූප - කිරිඳිවැල උපාලි රණවීර)