(අංජුල මහික වීරරත්න)

මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එය රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැති කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 40 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

රජයේ ප්‍රධාන අරමුණ වන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" නිර්මාණය කිරීම තුළින්, ආර්ථික වශයෙන් ශක්තිමත් පරිසරයක සෑම පුරවැසියෙකුටම ගෞරවනීය, සුරක්ෂිත මෙන්ම සතුටින් ජීවත් විය හැකි පසුබිම සකස් වන බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

කොළඹ කොටස් වෙළඳපොළේ 40 වන සංවත්සරය සැමරීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ "Stock Market Game" වැඩසටහන දියත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී, 40 වන සංවත්සර සමරු කවරය සහ මුද්දරය එළිදැක්වීමද සිදු කෙරිණි.