අලුත් පනත් දෙකෙන් ආණ්ඩුවේ සුජාතභාවය පරීක්ෂා වෙයි ද?


ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හා සංවිධානාත්මක  අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට සමාජයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් තිබේ. මේවායෙහි අන්තර්ගතය පිළිබඳව ඉරිදා ලංකාදීපය නීති ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් ලිපි ගණනාවක් පළ කළ අතර ඒවා පදනම්ව අපට ද කිව හැක්කේ මේ පනත් කෙටුම්පත් දෙකෙහි මර්දනීය ප්‍රතිපාදන ඇතුළත් බවය. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පී.ටී.ඒ.) අහෝසි කරමින් ගෙන එන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මඟින් පී.ටී.ඒ. හි අඩංගු මර්දනීය ප්‍රතිපාදන ඊටත් වඩා දැඩි ලෙස ඉදිරියට ගෙන යාමටත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් පුරවැසි අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන අයුරින් පොලිස් නිලධාරීන්ට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසීමිත බලයක් ලබාදීමටත් කටයුතු කිරීම ගැන නැගෙන විරෝධය සුළුපටු එකක් නොවේ.

මේ සන්දර්භයේ අපට මතු කළ හැකි මූලධාර්මික ප්‍රශ්නයක් ද තිබේ. මේ ලිපියේදී අප සාකච්ඡා කරන්නේ ද එයයි. එනම්, ජනතා විමුක්ති පෙරමුණ අරටුව වූ ජාතික ජන බලවේගයට මේ ආකාරයේ මර්දනීය පනත් කෙටුම්පත් ගෙන ඒමේ සදාචාරාත්මක හැකියාවක් ඇත්ද යන්නය. 1987-1989 කාලයේ ජවිපෙද මේ කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් බැට කෑ පක්ෂයකි. එමෙන්ම ඔවුන් විපක්ෂයේ සිටියදී නිතර කීවේ මේ පනත මර්දනීය බවත් එය අහෝසි කළ යුතු බවත්ය. එහෙත් දැන් රජය එය අහෝසි කරමින් ගෙන එන්නේ ඊටත් වඩා භයානක විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් නම් ජවිපෙ ඒ මුල් ආස්ථානය බොරුවක් දැයි අපට ඇසීමට සිදු වේ. අනෙක් අතට අප නිවැරදි නම්, ජවිපෙ දේශපාලන දර්ශනය වන මාක්ස්-ලෙනින්වාදය අනුව රාජ්‍ය වනාහී මර්දනීය ආයතනයක් වන අතර පොලීසිය එම මර්දනය ක්‍රියාවට නංවනු ලබන එක් මෙවලමකි. එසේ වුවත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙන් පොලීසියට අතිමහත් බලයක් ලබා දීම අප පමණක් නොව මේ ආණ්ඩුවට බලය දුන් අය පවා ප්‍රශ්න කරනු නොඅනුමානය.

දේශපාලනය යනු බලය සඳහා කෙරෙන අරගලයකි. මැකියාවෙලියානු චින්තනය දේශපාලකයන්ගේ අත්පොතක් බඳු වන්නේ එනිසාය. එය ජවිපෙට ද පොදුය. විපක්ෂයේ සිටියදී කවරක් කීවත් ඔවුනුත් බලයට පැමිණි පසු කරන්නේ තවදුරටත් බලය ආරක්ෂා කරගැනීමය. යථාර්ථය එය වුවත් ඉතිහාසයේ කවරදාකවත් බලයට පත් නොවූ ජවිපෙ ප්‍රමුඛ මාලිමා සභාගයට විශාල බලයක් ලබාදී ජනතාව අපේක්ෂා කළේ දේශපාලනයේ ක්‍රම වෙනසක් මිස මර්දනකාරී විධිවිධාන ඇතුළත් අණපනත් නොවේ. ජනවරමේ සුජාතභාවය පවා පරීක්ෂා විය හැකි මේ පනත් කෙටුම්පත් මඟින් නිර්මාණය වන දේශපාලන අවකාශය ගැන දේශපාලන විචාරකයන් දෙදෙනකු දක්වන අදහස් මෙසේය.

“මේ වගේ අණපනත් අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට බලය ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් පමණයි”

දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ

මේ වගේ පනත් කෙටුම්පත් ගෙන ඒම ගැන හරි පුදුමයි. මේ විදියේ පනත් කෙටුම්පත් කොහෙත්ම පැමිණිය යුතු නැති පාර්ශ්වයකින් පැමිණීම තමයි ඒ පුදුමය. ජේ.ආර්. ජයවර්ධන 1977 බලයට ඇවිත් මේ වගේ මර්දන අණපනත් ගෙන ඒම තේරුම් ගන්න පුළුවන්. ආර්ථිකය විවෘත කළාට පස්සේ ඒක සාර්ථක වෙන්න නම් මර්දනකාරී අණපනතුත් සම්මත කළ යුතු බව ඔහු විශ්වාස කළා. රටේ පැවති ආවෘත ආර්ථිකය විවෘත කරන කොට හැලහැප්පිලි උද්ගත විය හැකි බවත් ඒ නිසා මර්දනකාරී අණපනත් අවශ්‍ය බවත් වන තාර්කික පදනම ඔහුට තිබුණා. ඒ අනුව තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ගෙනාවේ. ඊට අමතරව ඒ වෙද්දී එල්.ටී.ටී.ඊ. එකේ යම් යම් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා තිබුණා. ඒ නිසා හැම පැත්තකින්ම එයා හිතුවා පී.ටී.ඒ. වැනි මර්දන පනතක් අවශ්‍යයි කියලා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්.

මේ මර්දන පනතට විරුද්ධව හඬ නඟපු පාර්ශ්ව අතර ප්‍රධානම කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. 1987-1989 කාලයේ ජවිපෙ මර්දනය කිරීමටත් මේ පනත පාවිච්චි කළා. මේ පනතෙන් බැට කාපු දැනට සජීවීව ඉන්න ප්‍රධානම දේශපාලන බලවේගය තමයි ජවිපෙ. මොකද එල්.ටී.ටී.ඊ. එක දැන් නැති නිසා. එහෙව් ජවිපෙ ආණ්ඩුවක් මඟින් මේ විදියේ මර්දනකාරී පනත් කෙටුම්පත් ගේන්නේ කොහොම ද කියන එක ප්‍රශ්නයක්. රාජ්‍ය කියන්නේ කොහොමත් මර්දනකාරී යන්ත්‍රණයක්. මාක්ස්වාදයෙන් කිව්වෙත් මෙයමයි. රාජ්‍ය මර්දනකාරී ආයතනයක් නිසා ඒක අහෝසි කළ යුතු බවත් මාක්ස්වාදයෙන් කියනවා. එයින් අදහස් කරන්නේ රාජ්‍යයේ මර්දනකාරී ස්වභාවය අවසන් කිරීම. ජවිපෙ යන්න ඕනෑ ඒ පැත්තට වුණත් දැන් යමින් ඉන්නේ සම්පූර්ණයෙන්ම ඒකේ අනිත් පැත්තට. මාක්ස් විවේචනය කරපු දේ මේ අය සාදරයෙන් තමන්ගේ පැත්තට අරගෙන තියෙනවා.

දණ්ඩ නීති සංග්‍රහය වගේ නීති තියෙනවා. ඒ වගේම තවත් නීති තියෙනවා. අපරාධ මඩින්න මේවා හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ නීති තියෙද්දී මේ වගේ අණපනත් අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට බලය ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් පමණයි. ඕනෑම පාලකයකුට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පාලනය ගෙනියන්න හැකියාවක් නැති වෙයි කියන සැකය ඇති වෙන කොට තමයි තියෙන අණපනත්වලට අමතරව තවත් නීති අවශ්‍ය වෙන්නේ. මේ අනුව අපට එළැඹිය හැකි නිගමනය තමයි මේ ආණ්ඩුවටත් එවැනි අභිමතාර්ථයක් තියෙනවාද කියන එක. ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවලින් පාලන බලය හැසිරවීමට සහ ආරක්ෂා කිරීමට යොමු වෙන්නේ ඒ නිසා විය යුතුයි. එහෙම භාවිතයකින් විතරයි මෙවැනි නීති යුක්තිසහගත කරන්න පුළුවන් වෙන්නේ.

1987-1989 කාලයේ ජවිපෙ ද මේ කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් බැට කෑ පක්ෂයකි. එමෙන්ම ඔවුන් විපක්ෂයේ සිටියදී නිතර කීවේ මේ පනත මර්දනීය බවත් එය අහෝසි කළ යුතු බවත්ය. එහෙත් දැන් ජවිපෙ එය අහෝසි කරමින් ගෙන එන්නේ ඊටත් වඩා භයානක විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් නම් ජවිපෙ ඒ මුල් ආස්ථානය බොරුවක් දැයි අපට ඇසීමට සිදු වේ. අනෙක් අතට අප නිවැරදි නම්, ජවිපෙ දේශපාලන දර්ශනය වන මාක්ස්-ලෙනින්වාදය අනුව රාජ්‍ය වනාහී මර්දනීය ආයතනයක් වන අතර පොලීසිය එම මර්දනය ක්‍රියාවට නංවනු ලබන එක් මෙවලමකි.

නීතියක් මර්දනකාරී නොවෙන්න නම් ඒ නීතියේ නිමිත්ත හැකිතාක් පටු විදියට අර්ථනිරූපණය කරන්න ඕනෑ. එවිට ඒ නීතිය අපයෝජනය කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. උදාහරණයකට ත්‍රස්තවාදය ගත්තොත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත අර්ථනිරූපණයක් ගෙන ඒම අසීරුයි. මොකද ත්‍රස්තවාදය විවිධ වේශයන්ගෙන් පැමිණිය හැකි නිසා. නමුත් සියලු‍ අදහස් එකතු කරලා පුළුල් නිර්වචනයක් ගෙනාවොත් ඒක ගැටලු‍සහගතයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදය අර්ථනිරූපණය කරලා තියෙන්නෙත් ඒ විදියට. ඒ පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය අර්ථනිරූපණය කර ඇති ආකාරයට රජයට කිරීමට හෝ නොකිරීමට බලකරන දෙයක් පවා ත්‍රස්තවාදයක් වෙන්න පුළුවන්. ඊළඟ කොටසේ “අභිමතාර්ථයෙන් ඒ දේවල් කළොත්” කියලා සඳහන් වෙන බව ඇත්ත. ඒත් ඒ කොටස තීරණය කරන්නේ අධිකරණය. අධිකරණයට යන්න ඉස්සෙල්ලා තීරණය කරන්නේ පොලීසිය. මෙතන තමයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා නිර්වචන පුළුල් විදියට දාන්න හොඳ නැහැ.

ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ සම්බන්ධ කරන්න ඕනෑ. ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ හුදු විනිසුරුවන්ගේ ධුර කාලය වැඩිකිරීමට පමණක් නෙවෙයි මේ ආකාරයේ මර්දනීය පනත් කෙටුම්පත් ගෙනඒමට අවශ්‍ය වටාපිටාව සකසා ගැනීමටත් එක්ක. අපට චිත්‍රය පැහැදිලියි. මේක නරක තත්ත්වයක්. වංචා දූෂණවලට සම්බන්ධ අයට දඬුවම් දෙමින් යනවා. අපි හිතපු නැති අය පවා නීතියේ දැලට හසුකරගනිමින් ඉන්නවා. ඒවා හොඳ දේවල්. ඒවයේ තියෙන සුජාතභාවය පවා නැතිවෙනවා මේ විදියේ පනත් කෙටුම්පත්වලින්. ඒක හරියට කිරි කළයට ගොම හැන්දක් දාගත්තා වගේ දෙයක්. ඒ නිසා මට මේ ආණ්ඩුව ගැන කනගාටුවක් තියෙනවා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධානවලට වුණත් තවදුරටත් ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටීම ගැටලු‍කාරී වෙනවා. ඒ අයට තවදුරටත් ආණ්ඩුව සමඟ අනන්‍ය වෙන්න අමාරුයි. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේකෙන් වාසිගන්නේ බලයෙන් පහකෙරුණු කණ්ඩායම්. නැවත බලයට පත්වෙන්න ඒ අයට මේ ඔස්සේ දේශපාලන අවකාශයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ විදියේ මර්දනකාරී පනත් කෙටුම්පත් ගෙනඒම මොන පැත්තෙන් ගත්තත් ආණ්ඩුවට අවාසිසහගතයි. රටටත් එයින් වෙන්නේ නරකක්.

“ආණ්ඩුවකට මේ නීතිවල තියෙන මර්දනකාරී විධිවිධාන පාවිච්චි කරන්න බැරි විදියට සමාජය ඇතුළේ දේශපාලන සම්මුතීන් ඇති කරගත යුතුයි”

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඉතිහාසය අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

මේ වගේ පනත් කෙටුම්පත් ජවිපෙ ප්‍රධාන වූ ආණ්ඩුවකින් අපේක්ෂා කළ හැකිද කියන කාරණය සම්බන්ධයෙන් මගේ අදහස වෙනස්. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් විපක්ෂ බලවේගයක් හැටියට ඉන්න කොට සහ ආණ්ඩුකරණයට පැමිණි පසු දැකිය හැකි වෙනසක් තියෙනවා. විශේෂයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව ගත්තොත් ඒකේ කේන්ද්‍රය තමයි ජවිපෙ. ඒ පක්ෂය ආරම්භයේ ඉඳන්ම කටයුතු කළේ ක්‍රමවිරෝධී බලවේගයක් හැටියට. පවතින අධිපති ක්‍රමයේ සැකැස්මට පිටින් ක්‍රියාත්මක වූ විකල්ප බලවේගයක් හැටියට තමයි ජවිපෙ ක්‍රියාත්මක වුණේ. එවැනි දේශපාලන බලවේගයක් නිතරම පවතින දේ පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි, ජවිපෙ කැරලිකාරී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වී අධිකාරී ප්‍රවණතාවලින් බැට කාපු පිරිසක්. ජවිපෙ ඒවට විරුද්ධව විවේචනත් ඉදිරිපත් කළා. 1994 න් පස්සේ විපක්ෂ අවකාශයේ ප්‍රමුඛ බලවේගයක් හැටියටත් ජවිපෙ ක්‍රියාත්මක වුණා. ඒක ඇතුළේ ඔවුන් නියෝජනය කරපු අදහස් තියෙනවා.

ජවිපෙට බලාපොරොත්තු නොවූ විදියට ආණ්ඩු බලයට පැමිණීමට සිදු වුණා. ආණ්ඩු බලය ලබාගත්තට පස්සේ තියෙන ආණ්ඩුකරණ සංස්කෘතිය ඇතුළේ පවතින ප්‍රවණතාවලට අනුගත වෙමින් තීන්දු ගන්න සිද්ධ වෙනවා. ඒවත් සමඟ සම්මුතියකට යන්න සිද්ධ වෙනවා. මේ පනත් කෙටුම්පත් තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තියෙන අධිපති ආණ්ඩුකරණ සංස්කෘතිය සමඟ සම්මුතියකට යෑමේ ප්‍රතිඵලයක් හැටියට. ඒකේ ගැටලු‍ දෙකක් මතු වෙනවා. පළමුවැන්න තමයි ජවිපෙ අතීතයේ නියෝජනය කළ කතිකාව ඔවුන්ටම අභිමුඛ වීම. දෙවැනි එක තමයි ත්‍රස්තවාදය හා අපරාධ වැළැක්වීම සඳහා ඇති කරගනු ලබන නීතිමය රාමු දෙපැත්ත කැපෙන ආයුධ වීම. ඒ නීතිවල ඇතුළත් ප්‍රතිපාදන මඟින් ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට වගේම දේශපාලන ජීවිතයටත් බලපෑම් එන්න පුළුවන්.

ජවිපෙ මූලධාර්මික පදනම අනුව මෙවැනි පනත් කෙටුම්පත් ගෙනඒම ගැටලු‍වක් නෙවෙයිද කියලා ඔබ අහන ප්‍රශ්නයට විපක්ෂ දෘෂ්ටිකෝණයෙන් බලනවා නම් මට ඔව් කියලා උත්තර දෙන්න පුළුවන්. එක පැත්තකින් මම මේ ආණ්ඩුවට සහාය දෙන කෙනෙක්. ඒක පැත්තකින් තිබ්බත් ඔය ප්‍රශ්න ඒ තරම් සරල නැහැ. යම් පක්ෂයක් පෙනී සිටින අදහස් සඳහා ඔවුන් කොතරම්දුරට අවංකව පෙනී ඉන්නවා ද කියන එක ගැන අපි දන්නේ නැහැ. ඒවා විවිධ දෘෂ්ටිකෝණවලින් බලන්න පුළුවන්. අපිට නිතරම යථාර්ථය අභිමුඛ වෙනවා. ආණ්ඩුකරණ යථාර්ථය කියන්නේ විපක්ෂයේ ඉන්න කොට මුහුණ දෙන යථාර්ථය නෙවෙයි. මෙය ජවිපෙට පමණක් නෙවෙයි ඕනෑම පක්ෂයකට අදාළයි. විපක්ෂයේ ඉන්න කොට කියන ඒවයි ආණ්ඩු බලයට ආවාට පස්සේ කරන දේවලු‍යි අතර පැහැදිලි වෙනසක් ඕනෑම පක්ෂයක දකින්න පුළුවන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වුණත් මේ තත්ත්වය පොදුයි. ඒ නිසා මේ දේවල් කියන තරම් සරල නැහැ.

මම පෙනී ඉන්නෙත් ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධ මර්දනීය නීතිවලට විරුද්ධවයි. ඒත් ත්‍රස්තවාදය හා අපරාධ වැළැක්වීම සම්බන්ධ නීති සම්පූර්ණයෙන්ම අහෝසි කළොත් නෛතික වශයෙන් ආණ්ඩුවලට මුහුණදීමට සිදුවෙන ප්‍රශ්න තියෙනවා. ඒවට මුහුණදීම සිතන තරම් ලේසි නැහැ. මේ නීති ගෙනා යුත්තේ සමාජීය සම්මුතියක් ඇතුළේ බව මම විශ්වාස කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළොත් ජාතිකවාදී බලවේග කියන්න පුළුවන් බෙදුම්වාදීන් සමඟ ඇති කරගත්ත එකඟතාවල ප්‍රතිඵලයක් හැටියට එහෙම කරනවා කියලා. ඒ නිසා මේ දේවල් හිතන තරම් සරල නැහැ. මේ සංකීර්ණතා ඇතුළේ තමයි අපිට මේ වගේ දේවල් දිහා බලන්න වෙන්නේ.

මේ පනත් කෙටුම්පත් මඟින් ජනවරමෙන් ජනතාව අපේක්ෂා කළ දේශපාලනයේ ආචාරධාර්මික පදනම් දුර්වල නොවන්නේ ද කියා ඔබ අසන ප්‍රශ්නය ගැන කිව හැක්කේ දේශපාලනයේ ආචාරධාර්මික පදනම් දුර්වල වන ඒවා තියෙන බව. ඒක නැහැයි කියන්නේ නැහැ. මේ සම්බන්ධව මම දෙආකාරයක ප්‍රවේශයකින් බලනවා. එකක් තමයි මේ පනත් කෙටුම්පත්වලට විරෝධය දැක්වීම අවශ්‍යයි කියන එක. ඒ ඔස්සේ ඒවා සංශෝධනය කරගන්න පුළුවන් නම් ඒක වැදගත්. දෙවැනි ප්‍රවේශය තමයි ඒ පනත් කෙටුම්පත්වල අදාළත්වය නැති කරන එක. මේ නීති ගෙනාවත් ඒවයෙන් එච්චර ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේවයේ අදාළත්වය නැති වෙන විදියට කටයුතු කරන්න ඕනෑ. අනාගතයේ වෙන පක්ෂයක් බලයට ආවොත් ඒ අය මේ නීති මර්දනකාරී ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියලා සමහරුන් කියනවා. නමුත් මගේ මතය වෙන්නේ මේ ආණ්ඩුව වුණත් ඒ විදියට කටයුතු කරන්න පුළුවන්. මම ආණ්ඩුව සුද්ද කරන්න යන්නේ නැහැ. කවුරුත් කැමැත්තෙන් බලය දාලා යන්න කැමති නැහැනේ. ඒ නිසා මේ ආණ්ඩුවේ බලයට තර්ජනයක් ආවොත් මේ පනත් කෙටුම්පත්වල තියෙන මර්දනකාරී විධිවිධාන පාවිච්චි නොකරයි කියලා විශ්වාස කරන්න බැහැ. ආණ්ඩුවකට මේ නීතිවල තියෙන මර්දනකාරී විධිවිධාන පාවිච්චි කරන්න බැරි විදියට සමාජය ඇතුළේ දේශපාලන සම්මුතීන් ඇති කරගත යුතුයි. මම විශ්වාස කරන විදියට මේ නීතිවල තියෙන අහිතකර ප්‍රතිවිපාකවලින් සමාජය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ විදියේ ප්‍රවේශයකින් විතරයි. ත්‍රස්තවාදයට එරෙහි නීතිවලින් සමාජය ආරක්ෂා කරගන්න ඕනෑ.

උපුල් වික්‍රමසිංහ