වෙළෙඳ අමාත්‍ය
නලීන් ප්‍රනාන්දු
බඩු මිල ගුවන්ගතය. මේ තුළ සාතිශය බහුතරයක් ජනතාවට සිදුව තිබෙන්නේ දිවංගත වීමටය. මෙම ඉරණම වෙනස් කළ හැකිද? වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.
ප්‍රශ්නය:- ඔබ මේ රටේ වෙළෙඳ අමාත්‍යවරයා. ඔබේ කාර්යභාරය, විෂය පථය මොකක්ද?
පිළිතුර:- මෙහෙමයි. විශේෂයෙන්ම පහුගිය කාලයේ වෙළෙඳ ඇමැතිවරුන් දිහා බැලුවෙම නම් වෙළෙඳ ඇමැතිවරයා කියන්නේ බඩුමිල අඩු කරන්න ඉන්න කෙනා බවයි පේන්නේ.
ප්‍රශ්නය:-ඒක එහෙම නෙවෙයි ද?
පිළිතුර:- ඒක මගේ ‘විෂය පථයේ’ එක් කොටසක් පමණයි. රටේ වෙළෙඳ අමාත්‍යවරයා කියන්නේ, වෙළෙඳ ප්‍රතිපත්තියක් එක්ක කොහොමද පාරිභෝගිකයාට සලකමින් ඒ වගේම රට වෙනුවෙන් වෙනත් රටවල් සමග තියෙන අන්තර් ජාතික ගිවිසුම්, ඒ වගේම අන්තර් ජාතික වෙළෙඳාම් තුලින්. අනාගතයේ දී කොහොමද රටේ ආර්ථිකයට ලබාදෙන පහසුකම්, වෙනත් රටවලින් මේ රටට භාණ්ඩ ආනයනය කිරීම්වලද ඇතිවන බාධා ඉවත් කිරීම්. ඒ වැට තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම්, ඒ වගේම අපනයනය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැන ඒ ඒ රටවල් සමග සාකච්ඡා කිරීම ආදී සියලු දේ වෙළෙඳ අමාත්‍යවරයාට තියෙන වගකීම්.
නමුත් අද වෙනකොට ජනතාව අල, ලූනු, මිරිස්. පරිප්පු, සීනි අඩුව දෙන පුද්ගලයා තමයි වෙළෙඳ ඇමැතිවරයා හැටියටයි සලකන්නේ. ඒක වැරැදියි.
සමුපකාර ක්ෂේත්‍රය ගත්තොත් පාරිභෝගික සේවා අධිකාරිය, බුද්ධිමය දේපොළ පිළිබඳ කාර්යාංශය මේ විදියට විශාල විෂය පථයක් තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්නත්, ඒවට ප්‍රතිපත්ති හදන්න අලුතින් නීති ගේන්නත් පාර්ලිමේන්තුව තුළදී කළ යුතු වෙනස්කම් කරන්නත් ඒවාට නායකත්වය දෙන්නත් තමයි වෙළෙඳ අමාත්‍යවරයා ඉන්නේ.
ප්‍රශ්නය:-ඔබේ පැහැදිලි කිරීම ඇතුළේ බඩුමිල සම්බන්ධයෙන් ඔබට කිසිම වගකීමක් නැහැ වගෙයි?
පිළිතුර:- මම ඒකයි කිව්වේ ඒක එක කොටසක් පමණයි කියලා. මුළු ඇමැතිකමේම වගකීම අල, ලූනු, පරිප්පු අඩු කිරීම නොවෙයි. බඩු මිල සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී වගකීමක් වෙළෙඳ ඇමැතිවරයට තියෙනවා. බඩු මිල අඩු වැඩි වෙන එකක් ඒ තුළ අපට යම් තීන්දු ගන්න වෙනවා.
භාණ්ඩ හිඟයක් එනවා නම් ඒවා ආනයනය කරන්න නිර්දේශ ලබා දෙන්නත් අපනයනය කවදා වෙනකම් කරන්න පුළුවන්ද කියලා බලන එක ඒ වගේ කාරණා විශාල වශයෙන් පවතිනවා. ඒක අපි කරනවා. ඒ නිසා තමයි පසුගිය කාලයේ පාන්පිටි 430 ට යනකොට පාන්පිටි මෙරටට ආනයනය කරලා. පිටි කිලෝව 175 ට 180 ට බස්සගන්න පුළුවන්කම ලැබුණේ.
විශේෂයෙන්ම පොහොර ප්‍රතිපත්තිය ගෙනාපු වෙලාවේ මහ කන්නයකුත් යල කන්න දෙකකුත් නැතිව ගියා. හාල් ටොන් ලක්ෂ විසිපන්දාහක් අවුරුද්දක් පුරා ආනයනය කරලා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා.
අද වෙනකොට කීරි සම්බාවල විශාල හිඟයක් තියෙනවා. ඒ කීරි සම්බා ආනයනය කරන්න අපි කටයුතු කරනවා. බිත්තර නිෂ්පාදනය කඩා වැටිලා තියෙන්නේ. රුපියල් 20 ට 25 ට තිබුණ බිත්තරයක් රුපියල් 75 ට ගියා බිත්තර ආනයනය කරලා බිත්තරයක මිල 38 ට 40 ට බස්සන්න පුළුවන් වුණා. එවැනි කටයුතුවලට මැදිහත් වෙනවා. ඒක වෙනම දෙයක්. ඒ සඳහා මැදිහත්වීම වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කරන මුළු රාජකාරියම නොවෙයි.
ප්‍රශ්නය:-අපි කතා බහ කරන මේ මොහොත වන විටත් එළවළු මිල ගිනිගණන්. මාළු ගැන හිතන්නවත් බෑ. ජනතාව ජීවත්වෙන්නේ කොහොමද කියලා. ආණ්ඩුව පොඩ්ඩක්වත් හිතන්නේ නෑ?
පිළිතුර:- එහෙම කියන්න එපා. අපි පිළිගන්න ඕනෑ එළවළු මිල ඉහළ යන්න හේතුව විශාල වැසි ප්‍රශ්නයක් මාස හයක් තිස්සේ තියෙද්දි නිෂ්පාදනය අඩු වුණ බව. මිලත් වැඩි වුණා. මාළු මිල ඉහළ යන්නත් වර්ෂාව හේතු වුණා. ඒ වගේම තෙල් ටික වැඩි වුණා. ඒ නිසා ඔවුන්ගේ වියදම වැඩි වුණා. ඒ තුළ මාළු මිල ඉහළ ගොස් තියෙනවා.
අපි ඕකේ අනික් පැත්ත ගමු. වැස්ස වැඩිවෙනවා. ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය වැඩි වෙනවා. රටට තෙල් සඳහා සහ වියදම බිලියන ගානක් ඉතිරි වෙනවා. එහෙම බැලුවම මේකේ දෙපැත්තක් තියෙනවා.
ඔබ අහන ප්‍රශ්නය තමයි මේ මිලට කාලා මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? කියලා. ඒක තමයි දැනට තියෙන ප්‍රශ්නය. ආර්ථික ප්‍රශ්නයක් තියෙන රටක ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි රජයේ සේවකයන්ගේ වැටුප දහදාහකින් වැඩි කරලා. අප්‍රේල් මාසයේ ඉඳලා දෙනවා කිව්වේ. නමුත් දැන් ඒක අපි ජනවාරි මාසයේ ඉඳලම දෙනවා.
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ගෙවන ප්‍රමාණය වැඩි කළා. වෛද්‍යවරුන්ට රුපියල් 35000 ට තියෙන දීමනාව 70000 දක්වා වැඩි කළා. හැබැයි, ඒකෙන් සියලු දෙනා ආවරණය වෙන්නේ නෑ. ඊළඟට රටේ අඩුම ආදායම්ලාභීන්ට අස්වැසුම සහ සමෘද්ධිය දෙකම ලබාදෙනවා. ඒ වගේම අපේ අයවැය තුළ මේ සෑම දීමනා ලබන අයගේ දීමනා දෙගුණයක් කරලා තියෙනවා.
ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න මේ අවුරුද්ද තුළ අපි මියගිය අවුරුද්දට සාපේක්ෂව ඉදිරි පියවරක් කියලා තියෙනවා. ගිය අවුරුද්දේ අපි පළමුව කාර්තුව තුළ සෘණ ආර්ථික වේගයක් තිබුණේ. අවසාන කාර්තුවේදී ධන 2 ක ආර්ථික වර්ධන වේගයක් ගෙනාවා. එතකොට 2024 වසර අපි පටන් ගන්නේ ධන ආර්ථිකයක ඉඳලා.
2024 වසර තුළ ආදායම වැඩිවීම තුළ මේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. කොහොම කළත් ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවෙන්නේ නෑ. ඒ නිසා ආදායම් වැඩිකරන වැඩපිළිවෙළකට යන්නම වෙනවා.
ලෝකයෙ කොතැනකවත් කවදාවක්වත් බඩු මිල අඩු වෙලා නෑ. රුපියල් 3.50 ට තිබුණ පාන්ගෙඩිය රුපියල් 140 ක් වෙනකම් ගියේ. භාණඩ මිල අඩු වෙලා නොවෙයි. හරිනේ. රුපියල් 15 ට 20 ට තිබුණ හාල් කිලෝ එක රුපියල් 225 – 230 දක්වා ගියේ භාණ්ඩ මිල අඩුනොවන නිසා. ඒ විදියට භාණ්ඩ මිල වැඩි වෙනවා.
හැබැයි ආදායම අඩු වුණා. ආර්ථිකය කඩාවැටීම තුළ අපේ ඒකපුද්ගල ආදායම කඩා වැටුණා. ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවකදී මේක සාමාන්‍ය දෙයක්. ඒ අමාරුව තමයි මේ රටේ ජනතාවට දැන් විඳින්න වෙලා තියෙන්නේ. මේකෙන් ගොඩ එන්නනම් ආර්ථීකය හදන්නම වෙනවා.
ප්‍රශ්නය:-ඔබ කියපු රජයේ සේවකයන්, වෛද්‍යවරුන් කථිකාචාර්යවරුන් කියන්නේ රටේ සමස්ත ජනතාවම නොවෙයි. සාතිශය බහුතරයක් ජනතාව ඉන්නේ අන්ත පීඩනයකින්.
පිළිතුර:- මම එක එක ක්ෂේත්‍ර ගණනාවක් කිව්වා. මම කිව්වා තව කොටසකට ලැබුණේ නෑ කියලත්. හැබැයි, විදුලිබිල වැඩිවීම බදු වැඩිවීඹ, ඒ කොයිවෙලාවෙදිවත් හොඳට මතක තියාගන්න, ආර්ථිකය කඩා වැටෙන්න කලින් ලෝකයේ ආර්ථිකය ශක්තිමත් රටවල් පහ හය තුළ අපි හිටියා. අද තත්ත්වය ඒක නොවෙයි. අපි මෙතැනදී කරන්න ඕනැ රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක. සංචිත වැඩි කරගන්න එක. එකේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන එක. එන අප්‍රේල් මාසයෙදී මේකේ හොඳ ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා.
ප්‍රශ්නය:-‘රට වැට්ටුවේ ආර්ථිකය කාබාසිනියා කළේ අපි නොවෙයි. ඒක කළේ දේශපාලනඥයන්. නමුත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. දේශපාලනඥයන් සුර සැප විඳිනවා.’ ජනතාව කියන්නේ එහෙම?
පිළිතුර:- සුරසැප විඳිනවා කියලා කටේ වචනයට කිව්වට එහෙම සුර සැප විඳිනවා කියලා කියන්න බෑ. අද ගත්තොත් ඔයා දවල්ට කාපු බත් එක වගේ එකක් තමයි මම දවල්ට කෑවෙත්. මගේ බත් එකේ තිබුණේ ජාති තුනයි. සුරසැප විඳිනවා කියලා ඒ නිසා කියන්න බෑ. මම වගකීමෙන් කියන්නේ මම ගෙදරින් ගෙනල්ලා කෑවේ. බත් පෙට්ටිය පෙන්වන්න පුළුවන් දැන්.
මගේ නෝනාත් පාන්දර 4ට නැගිටින්නේ. නමුත් සමහරු හිතන්නේ එහෙම නොවෙයි. මම කියන්නේ නෑ දේශපාලනඥයෝ ඔක්කොම එහෙමයි කියලා. නමුත් මම එහෙමයි. මම වගේ අයත් ඉන්නවා. අපිත් මේ ක්‍රමය තුළ අධ්‍යයනය ලබලා උඩිං ආපු අය. අපි විතරක් නකර වෙලා අනික් අය ඔක්කොම හොඳ වෙන්නේ කොහොමද?
දේශපාලනයට එන එක විතරක් නරකයි. අනික් අය සේරම හොඳයි. එහෙම කොහොමද කියන්නේ? අපෙත් හොඳ අය ඉන්නවා. නරක අයත් ඉන්නවා. ජනමාධ්‍යයෙත් හොඳ අය ඉන්නවා. නරක අය ඉන්නවා. සමාජයෙත් එහෙමයි. නමුත් මතය හදන්නේ සියලු දෙනා හොඳයි. හැබැයි දේශපාලනඥයන් ඇරෙන්න.’ කියලයි.
‘දේශපාලනඥයෝ සැප විඳිනවා. අනික් අය දුක් විඳිනවා.’ කියලනේ ඔබ කියන්නේ. අපි ලබාගන්න බදු මුදල් හරි දෙයටද යොදවන්නේ කියන වගකීම තමයි අපට තියෙන්නේ. බුද අය කළා කියලා ජනතාවට බනින්න බෑ. බදු අවශ්‍යයි. රටේ අනාගතය සඳහා ආදායම් අවශ්‍යයි. හැබැයි ඒ බදු මුදල නරක විදියට පාවිච්චි කරනව නම් රටේ ජනතාවට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්.
හැබැයි ඒ බදු මුදල් රටේ යහපතට යොදවනවා නම් ජනතාවට ප්‍රශ්නයක් නෑ. අපි ගිය අවුරුද්දේ ඔප්පු කරලා පෙන්නුවා ජනතාවගේ බදු මුදල් අපි නාස්ති කළේ නෑ කියලා.
ප්‍රශ්නය:-2024 වසර මැතිවරණ වසරක්. ඔබේ දැක්මට අනුව පළමුවෙන් එන්නේ මොන මැතිවරණයද?
පිළිතුර:- දැනට අපි පොඩි මැතිවරණ අයින් කළොත් ජනාධිපතිවරණය හා මහමැතිවරණය ගත්තොත් නීත්‍යනුකූලව මුලින්ම එන්න තියෙන්නේ ජනාධිපතිවරණයයි. අපි විශ්වාස කරනවා, මේ ආර්ථක වැඩපිළිවෙළත් එක්ක ජනාධිපතිවරයාය ජනාධිපතිවරණයට යයි කියලා. මොකද පහුගිය අවුරුද්දත් එක්ක රට වැටිලා තිබුණ තැනින් ගොඩගත්ත හැටි ජනාධිපතිතුමා කියන්න පුළුවන්. තමන් බාරගත්ත රටයි 22 තියෙන රටයි හෙට ගෙනයන රටයි ගැන කට ඇරලා කියන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි.
ප්‍රශ්නය:-ඔය පොහොට්ටුවේ මතය ද? ඔබේ මතය ද?
පිළිතුර:- පොහොට්ටුවේ මතය නොවෙයි. ජනාධිපතිවරයාගේ මතය. ඒක අපිත් කියනවා. අපි මේ ආණ්ඩුවට සහයෝගය දෙන්නේ ආර්ථිකය හැදීමට පමණයි. අපි ජනාධිපතිතුමාගේ පක්ෂය ගැන කතා කරලත් නෑ. එජාපයේ දේශපාලන වැඩපිළිවෙළක් ගැන කතා කරලත් නෑ. අපේ දේශපාලනයක් ගැන කතා කරලත් නෑ. සීයට සීයක්ම අපි ඉන්නේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක. ආර්ථිකය හදලා වැඩ පෙන්නුවේ මේ ජනාධිපතිතුමා විතරයි. විපක්ෂයේ අනික් දෙන්නම කියවනවා විතරයි.
ප්‍රශ්නය:-ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබේ සහාය ජනාධිපති රනිල්ට?
පිළිතුර:- ජනාධිපතිවරණයේදී ආර්ථිකය ශක්තිමත් කරන අපේක්ෂකයා කවුරු හෝ වේවා ඔහුට අනිවාර්යයෙන්ම සහාය දෙනවා.
ප්‍රශ්නය:-ඒ කියන්නේ ජනාධිපති රනිල්ට?
පිළිතුර:- ආර්ථිකය ශක්තිමත් කළ හැකි අපේක්ෂකයටයි සහාය දෙන්නේ. දැනට ජනාධිපතිතුමත් එක්ක ඒ වැඩපිළිවෙළ තුළ අපි ඉන්නවා. දැනට අපි කියන්නේ ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ගෙනියනවා නම් වෙන වැඩවලට ප්‍රමුඛස්ථානය දෙන්නේ නැතිව එතුමට සහයෝගය දෙනවා කියලයි අපි කියන්නේ.
ප්‍රශ්නය:-පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ඇවිත් කැබිනට් ඇමැතිකමක් ලැබුණ නිසා ද ඔබ ඔහොම කතා කරනවා.?
පිළිතුර:- නෑ. මේ ඇමැතිකම මට දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති. එතුමත් එක්ක සාකච්ඡා කරලයි දුන්නේ. සුදුසුකම් තියෙන නිසා මම ඇමැති ධුරය බාරගත්තා. මම ඇමැති ධුරයට සාධාරණය ඉටු කරනවා කියන එක කවුරුත් පිළිගන්නවා.
සාකච්ඡා කළේ
■ ප්‍රසන්න
සංජීව තෙන්නකෝන්