
අනුරගේ උපන් දිනයට ටිල්වින්ගෙන් සුබපැතුම්
ජනාධිපති අනුර දිසානායකගේ උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් 24 වැනිදාටය. සමාජ මාධ්‍යයෙන් සහ වෙනත් ආකාරයට ද ජනාධිපතිවරයාට බොහෝ සුබපැතුම් ලැබිණි. වෙනදා මෙන්ම මෙවරද පාන්දරම කතා කර සුබපැතුවේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය. ඒ දෙදෙනා පක්ෂයට සම්බන්ධ වූ අවස්ථාවේ සිටම
එකිනෙකා අමතන සුපුරුදු ආමන්ත්රණයෙනි.
“සුබ උපන් දිනයක් මල්ලී....” ජවිපෙ මහලේකම් ටිල්වින් කීවේය.
“අයියේ බොහෝම ස්තුතියි“ ජනාධිපති අනුර ටිල්වින්ට කියා සිටියේය.
“ඉතිං ආණ්ඩු බලය ලැබිලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා ඔයාගේ උපන් දිනයත් එක්කම. මේ ආවාට වඩා ඉස්සරහට ඔයාට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්’’ ටිල්වින් සිල්වා තවදුරටත් සුබපතමින් කීවේය.
“අයියා වගේම පක්ෂයේ හැමෝම මා එක්ක ඉන්නකම් බයවෙන්න දෙයක් නෑ. අපි බාරගත්තු වගකීම ඉටු කරන්න ඕනෑනේ....” ජනපති කීවේය.
“දැන් මේක අතඅරින්න කොහෙත්ම අයිතියක් නෑ. ඉතිං අපි වැඬේ හරියටම කරමු මල්ලී....” ටිල්වින් කියද්දී “අනිවාර්යයෙන්ම අයියේ....” ජනාධිපති අනුර උත්තර දුන්නේය.
අයවැයෙන් පසු ආ වර්ජන රැල්ල
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ දී ප්‍රධාන ශක්තිය බවට පත්කරගෙන තිබුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. එහෙත් මේ වන විට වත්මන් ආණ්ඩුවට එරෙහිව ද වෘත්තීය සමිති අරගල කරමින් සිටියි.
අයවැයෙන් පසු විපක්ෂය වෘත්තීය සමිති කිහිපයක් හවුල් කරගෙන වැඩ කරන ජනතාව පාරට ගෙන ඒමට සූදානම් වන බව ඉකුත් සතියේ ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර පැවැති සාකච්ඡාවකදී ද කියැවිණි. ඇමැති ලාල් කාන්ත, ඇමැති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටියේ 23 වැනිදා පවත්වන බව කී වර්ජනය ගැනය.
“විපක්ෂය දැන් වෘත්තීය සමිති තමන්ගේ එකම ගැලවුම්කාරයා බවට පත්කරගෙන නේ. එයාල හිතනවා වෘත්තීය සමිති ටිකක් අරගෙන පාරට බැහැලා ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් කියලා. රජයේ වෛද්‍යවරුන් ඔන්න එයාලට එකතු වෙලා. කලින් අයවැයෙන් දුන්න වැටුප් වර්ධකයේ ඊළඟ කොටස ජනවාරි ලැබෙනවා. දීමනාත් මේ අයවැයෙන් වැඩි කළා. උපයන විට ගෙවීමේ බද්දෙනුත් සහන දුන්නා. එහෙම තියෙද්දියි එයාලත් මේ දඟලන්නේ....” ලාල් කාන්ත ඇමැතිවරයා කියා සිටියේය.
“භාණ්ඩාගාරය පිරිලා නම් ඇයි අපට ගෙවන්න බැරි කියලත් සමහරු අහනවා මම දැක්කා. භාණ්ඩාගාරයේ සල්ලි තියෙන්නෙ වැටුප් වැඩි කරන්නම නෙවෙයිනේ. දුප්පත් ජනතාවට සහන දෙන්න ඕනෑ. ඊළඟ අවුරුද්දෙ හරි ආයෙ පඩි වැඩි කරන්න නම් රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනෑ.... ඉතිහාසයේ පළමු වතාවට අපි අධිවේගී මාර්ග කාටවත් ණය නොවී රටේම මුදල්වලින් හදන්න පටන් අරගෙන තියෙද්දියි මේ උද්ඝෝෂණය කරන්න ලෑස්ති වෙන්නේ...” ජනාධිපති අනුර දිසානායක කියා සිටියේය.
ආණ්ඩුව පැත්තෙන් පෙන්වා දෙන්නේ පොහොසත් රටක් හැදීමට මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයටම ජනාධිපතිවරයාගේ සිට පහළම මන්ත්‍රීවරුන් දක්වා වරප්‍රසාද කප්පාදු කරමින් විශාල කැප කිරීමක් කර ඇති බවය. එවැනි අවස්ථාවක ජනතාවගේ පැත්තෙන් ද යම් කැපකිරීමක් කළ යුතු බව ආණ්ඩුවේ අදහසය.
රජයේ සේවකයන් තරහ කරගෙන
ආණ්ඩුව එවැනි මතයක් දරද්දී හිටපු ඇමැතිවරයකු වන ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් දෙදාස් නවසීයකට සලකන්නට ගොස් රජය රාජ්‍ය සේවයේ විශාල පිරිසක් අමනාප කරගෙන ඇති බවය. වෘත්තීයවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේ චම්පික මේ බව කීවේය.
“රජයේ විධායක නිලධාරීන් ඉන්නේ රටේම දෙදාස් නවසීයයි. එයාලට දුන්න ගාන දොස්තරලට දුන්නෙ නෑ. රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් ඉන්නවා විසිපන්දාහක්. ඒ වගේම ඉංජිනේරුවන් ඉන්නවා හත්දාහක්. මේ අයට වැඩි කළේ දොළොස්දාස් පන්සීයයි. ඒක වැඩි වෙන්නෙත් ලබන අවුරුද්දේ ජූලි මාසයේදී. ඒත් විධායක නිලධාරීන්ට වහාම පනස්දාහ ගානෙ දුන්නා. මේ විෂමතා ආණ්ඩුව විසින්ම හදාගත්ත ඒවා. මේ වෙනකොට ගුරු සේවයේත්, උපාධිධාරී ගුරුවරුන්ගෙත්, සෞඛ්‍ය සේවයේ සහ පරිපාලන ක්ෂේත්රයේ පහළ නිලධාරීන්ගේ විශාල අසහනයක් මෝදුවෙමින් එනවා. මේ අංශ තමයි ආණ්ඩුවේ ගාමක බලවේග. ඒ බලවේග තමයි මේ අවුල් වෙමින් තියෙන්නේ. මේක ආණ්ඩුවට මාරකයක්. හරියට විසඳාගත්තෙ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙලයි නවතින්නේ....” හිටපු ඇමැති චම්පික තවදුරටත් කියා සිටියේය.
වෘත්තීය සමිති බල මණ්ඩල එකතුවෙයි
අයවැයෙන් පසු වෘත්තීය සමිති ගණනාවක්ම අරගලයක් අරඹා ඇත්තේ තමන් බලාපොරොත්තු වූ වැටුප් සහ දීමනා වැඩි නොවීම නිසාය. මේ යටතේ වෘත්තීය සමිති බල මණ්ඩල කිහිපයක්ම ඉකුත් සතියේ රැස්වී යම් යම් වර්ජන තීන්දුවලට එළඹුණේය. දුම්රිය අංශයේ සම්පත් රාජිත, රාජ්‍ය අංශයේ උදේනි හා සමන් රත්නප්‍රිය, සජබයේ චමින්ද පත්බේරිය ඇතුළු පිරිසක් ද දොස්තර රාජිත සේනාරත්න ද එම සාකච්ඡාවට සහභාගි වූහ. එහිදී කියැවුණේ වැඩ කරන ජනතාව රවටා ඇති නිසා රජයට විරෝධය පළ කර වර්ජන කිහිපයක් සිදු කිරීමටය. එක් වර්ජනයක් 23 වැනිදා පැවැත්වුණු අතර, දෙවැන්න 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
මරික්කාර් සහ වටගල කතා කළේ මොනවා ද?
අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සභා ගැබේදී නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් හමුවිය.
‘‘ආ.... වටගල ඇමැතිතුමා කොහොම ද?...” මරික්කාර් විමසුවේය.
“හොඳින් ඉන්නවා. කොහොම ද?” නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පිළිතුරු දුන්නේය.
“ඔබතුමාලගෙනෙ කොළඹ නගර සභාව. පසුගිය දවස්වල මහ වැස්සට ගංවතුරට යටවුණානෙ... පාලනය නම් දුර්වලයි. හදන්නෙ නැද්ද කොළඹ....?” මරික්කාර් මන්ත්‍රීවරයා විමසීය.
“ඒ අය පත්වෙලා කෙටි කාලයයිනෙ නේද? කොළඹ සංවර්ධන සැලැස්මක් තියෙනවා. ඒක මධ්‍යම රජයත් එක්ක තියෙන වැඩපිළිවෙළක්. මේ දවස්වල ඒ සැලැස්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ජනාධිපතිතුමත් මේ ළඟදී නගර සභාවේ සියලු බලධාරීන් ගෙන්වලා සාකච්ඡාවක් පවත්වලා තියෙනවා...” වටගල ඇමැතිවරයා කීවේය.
“කොළඹ යටවුණාම අපි හැමෝටම ඉන්න අමාරුයි. ඒකයි මම මේ අහන්නෙ....” මරික්කාර් මන්ත්‍රීවරයා යළිත් විමසීය.
“ඒක පිළිගන්නවා. වැඩ ටික කෙරෙයි. ජනාධිපතිතුමත් මේ වැඩ ඉක්මනින්ම පටන් අරගෙන ඉවරයක් කරන්න කියලයි උපදෙස් දීලා තියෙන්නෙ. අපි මේක ඉක්මනින්ම කරනවා....” වටගල කීවේය.
“ඒ වගේ දෙයක් පේන්න නම් නෑ....” මරික්කාර් මන්ත්‍රීවරයාගේ පිළිතුර විය.
“ප්‍රතිඵලයක් එනකොට ඔයාලට පෙනෙයි. යූ.ඩී.ඒ. එකේ විශාල ව්‍යාපෘතියක් තියෙනවා මහල් නිවාස ඉදිකිරීමට අදාළව. කුණු ටික නම් කොහොමහරි ඇදලා බේරේ වැවත් සුද්ද කරන්න ඕනෑමයි. ඒ ටික හැදිලා එනකොට කොළඹ හරියයි. දැනට නම් පේන්නෙ නෑ තමයි. ළඟදී පෙනෙයි....” එසේ කී සුනිල් වටගල ඇමැතිවරයා මරික්කාර්ගෙන් සමුගත්තේය.
කොළඹ මහ නගර සභාව ජාතික ජනබලවේගයට ලබාගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද බිලී බා ගනිමිනි. ඉකුත් වැසි දිනවල කොළඹ යටවීම නිසා ජනාධිපතිවරයා නගර සභා ප්‍රධානීන් ගෙන්වා ඉතා ඉක්මනින් කොළඹ පිරිසිදු කරන ලෙස නියෝගාත්මකව උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත.
අයි.එම්.එෆ්. සමග ණය ගිවිසුමක් නෑ
‘‘ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළිත් ණය ගිවිසුමකට එළඹෙනවාද?’’ විපක්ෂ දේශපාලකයන් අතර තවදුරටත් මෙම ප්රශ්නය කතාබහට ලක්ව තිබේ. ඔවුන් කියන්නේ වත්මන් රජය දැඩි මූල්‍ය අර්බුදයකට යමින් සිටින නිසා මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් ඉවත් වුවහොත් රජය දැඩි අසීරුතාවකට ලක්වන බවය. දොස්තර රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා යන හිටපු දේශපාලකයන්ගේ හමුවක් ඉකුත් සතියේ පැවැති අතර, එහිදී රාජිත කියා සිටියේ, අයි.එම්.එෆ්. සමග ගිවිසුමකට නොගියොත් ආර්ථිකය කඩාවැටී ජනතාව මහමගට බැසීමට පවා ඉඩ ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අවස්ථා කිහිපයක්ම පැවැසුවේ, රජය තවමත් ඒ පිළිබඳව තීන්දු කර නැති බවය. යළිත් අයි.එම්.එෆ්. එකත් සමග ගිවිසුමකට එළඹීමට අවශ්‍ය දැයි තීන්දු කර උපදෙස් දීම සඳහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක්ද රජය මගින් පත්කර තිබේ. එම කමිටුව ඉකුත් සතියේ රැස්වූ අතර, එම සාකච්ඡාවේදී වැඩි බරක් ලැබී ඇත්තේ අයි.එම්.එෆ්. සමග ණය ගිවිසුමකට නොයා යුතු බවටය. අයි.එම්.එෆ්. වෙතින් ණය මුදලක් ලබාගැනීම පමණක් ප්‍රමාණවත් බව එහිදී සාකච්ඡා වී ඇත. මෙයට මාස කීපයකට පෙර ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවතින්ද හෙළිකළේ රජය යළිත් ණය ගිවිසුමකට නොයන බවය.
සජබය අනුබද්ධ සංවිධාන පිහිටුවයි
සංවිධානාත්මක අපරාධ මර්දන පනතට සහ ත්‍රස්තවාදයෙන් දේශය රැක ගැනීමේ පනතට එරෙහිව ආසන මට්ටමින් උද්ඝෝෂණ පැවැත්විය යුතු බව සජබය තීන්දු කළේ ඉකුත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව මේ වන විට රට පුරාම මැතිවරණ කොට්ඨාස මට්ටමින් එම විරෝධතා මාලාව පැවැත්වෙයි. ඉකුත් සතියේ හාලිඇල සහ පඬුවස්නුවර යන ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කයේ සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉකුත් සතියේ පක්ෂ මූලස්ථානයට රැස්කළේ ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කර දීම සඳහාය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
“පළාත් සභා මැතිවරණය දැන් අවුරුදු ගණනාවකින් පවත්වලා නෑ. මේ ආණ්ඩුවත් ඒ ඡන්දය කල් දමමින් සිටියට ඔවුන්ට කොයි වෙලාවක හරි ඡන්දය පවත්වන්න වෙනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. ඔබ අතරින් දක්ෂයෝ අපි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරනවා.....” සජබ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
සජබ මහලේකම් රංජිත් කියා සිටියේ, වත්මන් ආණ්ඩුව ගෙන යන ක්‍රමය වැරදි බවත්, එයට එරෙහි ජනමතයක් ඇති කිරීම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත්ය.
සජබයේ පළාත් පාලන ආයතනවලට පත්වී සිටින තරුණ මන්ත්‍රීවරුන්ද වැඩමුළුවක් සඳහා සජබ මූලස්ථානයට කැඳවා තිබිණි. ආරාධිත දේශකයකු ලෙස හිටපු පළාත් සභා ඇමැතිවරයකු වූ ආචාර්ය දයාන් ජයතිලකද පැමිණ සිටි අතර, දයාන් එහිදී විපක්ෂයේ ඉතිහාසය හා එජාප ඉතිහාසය ගැන සිත්ගන්නා දෙසුමක් පැවැත්වීය. පක්ෂ නායක සජිත් එම මන්ත්‍රී පිරිසටද පැවසුවේ, දක්ෂයන්ට පක්ෂයේ තැන ඇති බවත්, ඔවුන් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් කරන බවත්ය.
මෙහිදී සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට පැමිණ සිටි මන්ත්‍රීවරයකු කීවේ, සජබ කිසිවකුටවත් දූෂණ වංචා චෝදනා එල්ල වී නැතිවීම ගැන තමන් සතුටු වන බවත්, ඒ ගැන මඳක් පැහැදිලි කරන ලෙසත්ය.
‘‘ඔව්... ඒක සතුටු වෙන්න ඕනෑ දෙයක් තමයි. පසුගිය අවුරුදු විස්සක විතර කාලයේ තමයි මේ මහා පරිමාණ වංචා දූෂණ තියෙන කතාව එළියට ආවේ. අපි වෙනත් පක්ෂවල ඉන්න කාලෙත් අපිත් නායකතුමත් වංචා දූෂණ විරෝධී දේශපාලනයක තමයි දිගටම සිටියේ.... එක ප්‍රාදේශීය සභාපති කෙනෙක් ඉන්නවා කලින් යූ.ඇන්.පී. ඉඳලා ඊට පස්සේ අපිත් එක්ක එකතු වුණ කෙනෙක්. එච්චර තනතුරු දරපු ඒ මනුස්සයට බෙහෙත් ටික අරගෙන දෙන්නෙත් මම. එහෙම පස්හය දෙනෙක්ම අපේ ගම් පළාතෙ ඉන්නවා. අපි තමයි උදව් කරන්නෙ. මම ඒකෙන් ඔයාලට කියන්නෙ අවංකව දේශපාලනය කරන්න කියන එක....” සජබ මහලේකම් රංජිත් කියා සිටියේය.
සජබය ඉකුත් දිනවල පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් යුතු සංසදයක් ද පිහිටවූ අතර, සමගි කාන්තා සංවිධානයේ ශාඛා ද පිහිටුවීම ආරම්භ කළේය.
මැති ඇමැතිවරු පා ගමනේ
මැතිවරණ සමයේ කාන්තා හිංසනයට එරෙහිව මහජන මතයක් ඇති කිරීම පිණිස මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන පැෆරල් ආයතනය වැඩපිළිවෙළක් අරඹා තිබේ. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ අනුග්‍රහයෙන් යුතු මෙම වැඩසටහන යටතේ කොළඹ නිදහස් චතුරස්රයේ සිට ගාලු මුවදොර දක්වා පාපැදි චාරිකාවක් සහ පා ගමනක් සංවිධානය කර තිබිණි. පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි එහිදී කියා සිටියේ, මෙම වැඩසටහන යටතේ මැතිවරණ පමණක්ම නොව, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහි මතයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවය.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ ඇතුළුව ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද සජබය වෙනුවෙන් ජාතික සංවිධායක තිස්ස අත්තනායකද පැමිණ සිටියහ. තිස්ස පාපැදියක නැග ගාලු මුවදොර දක්වාම ගමන් කළේය.
නාමල් සමග මිතුරන්ගේ සාකච්ඡාව
රිමාන්ඞ් භාරයට පත්ව සිටින නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිතුරන්ට නාමල් රාජපක්ෂ හමුවීමට අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේදීය. මේ දිනවල අයවැය විවාදය නිසා නාමල්ට සෑම දිනම පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලැබී තිබේ. ඉකුත් සතියේ නාමල් හමුවීමට සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න හා ජොන්ස්ටන් පැමිණියහ. මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක හා චානක මාදුගොඩද නාමල්ව දිනපතාම හමුවෙති. ඔවුන් පැමිණෙද්දී නාමල් සිටියේ තමාගේ කතාවට සූදානම් වෙමිනි.
“අන්න මහ බැංකු අධිපති කියනවා උද්ධමනය සියයට නවයක් වෙනවා කියලා....” නාමල් කීවේය.
“මම දැක්කා දැන් ඉන්න ජේවීපී නියෝජ්‍ය ඇමැති කෙනෙක් ඒ දවස්වල දාපු පෝස්ටුවක්. මහ බැංකු අධිපති වීරසිංහ ඉවත් වෙනු කියල ෆෙස්බුක් එකේ වීඩියෝවක් දාලා තිබුණා.... දැන් ආණ්ඩුව කියන්නෙ අයි.එම්.එෆ්. එකත් එක්ක තමයි අයවැය හැදුවෙ කියලා....” සංජීව එදිරිමාන්න කීවේය.
“ඒක තමයි... ඉස්සර නම් ජවිපෙ අය මහ බැංකු අධිපතිට පතුරු ගැහුවා අයි.එම්.එෆ්. ඒජන්තයෙක් කියලා. දැන් බලන්නකො තියෙන ආදරේ.....” නාමල් රාජපක්ෂ කීවේය.
“ආයෝජකයො එනව කීවට ඉන්න අයත් හැරිලා ගියානෙ....” ඩී.වී. චානක මන්ත්‍රීවරයා කීවේය.
“ඔව්.... ඉස්සෙල්ලම අදානි සමාගම ගියා... චීන සමාගම් ගියා. ජනාධිපති චීනෙට ගිහින් ඇවිත් කීවා ඩොලර් බිලියන හතරක පිරිපහදුවක් හදන්න චීන ජනාධිපති එක්ක ගිවිසුම් ගහලා ආවෙ කියලා. ඒ අය තමයි ඔය ආපහු ගියේ....” නාමල් රාජපෂ තවදුරටත් කියා සිටියේය.
රිමාන්ඞ් භාරයේ සිටින නාමල් හා චාමර සම්පත් වෙනුවෙන් ඉකුත් සතියේ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කතා කළහ. දයාසිරි ජයසේකර, චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති, ප්‍රසාද් සිරිවර්ධන, අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ ඒ අතර වූහ. දයාසිරි නාමල් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කතා කළේ එම ප්‍රකාශය ජාත්‍යන්තරයට ගෙන යාමට කටයුතු කරමිනි. දයාසිරි ඇතුළු සියලු දෙනාටම ස්තුති කිරීමට ද නාමල් අමතක කළේ නැත.
ආර්ථික අර්බුදයක් ගැන චම්පික කියයි
ජනතාවගේ ජීවන බර ආශ්‍රිතව උද්ධමනය වැඩිවී ඇති බව මහ බැංකු අධිපතිවරයාම පිළිගනී. එසේ වුවත් රජය පසුගිය කාලයේ කියා සිටියේ, භාණ්ඩාගාරය උතුරා යන තරමට මුදල් ඇති බවය. හතළිස් තුනේ සේනාංකයේ සහ වෘත්තීයවේදීන්ගේ හමුවකදී ද මෙම ප්රශ්නය මතු වූ අතර, හිටපු ඇමැති චම්පික රණවක එහිදී මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.
‘‘ඔතන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මහ බැංකුව කියනවා රුපියල් බිලියන තුන්සීයක ප්‍රමාණයක් වියදම් නොවී බැංකුවල තැන්පත්වෙලා තියෙනවා කියලා. සල්ලි අච්චු ගැහුවෙත් නැතිනම් ඒ මුදල ආවෙ කොහොම ද? අනික තමයි මහ බැංකුවේ මුදල් සැපයුම් වාර්තාව දෙස බලපුවම ගිය අවුරුද්දෙ සැප්තැම්බර් ඉඳලා මේ වසරේ සැප්තැම්බර් දක්වා රුපියල් බිලියන දෙදාහක වැඩිවීමක් තියෙනවා..... ආ ක්‍රමය සොයාගන්න බැරි. ඒවා මොනවද? මේ ගැන පාර්ලිමේන්තුවවත් හරියට විමසන්නෙ නෑ. දැන් උද්ධමනය අංක නවයකට ඇවිත්. ඒක හතකට වඩා වැඩියෙන් තියන්න මහ බැංකුවට අයිතියක් නෑ. අපිට පේන්න තියෙන්නෙ නැවත වතාවක් මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි පාලනයකින් තොරව යන බවයි.....” හිටපු ඇමැති චම්පික කීවේය.
හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් එකොළහක් එකට හමුවී
ඩී.එස්. සේනානායක දේශපාලන විද්‍යාපීඨය අපූරු සංවාද සභාවක් සංවිධානය කර තිබුණේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි ගුණසමරුව වෙනුවෙනි. මේ සංවාද සභාවට මෙරට පැවැති දේශපාලන ධාරාවන් හතක් නියෝජනය කරමින් හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් එකොළොස් දෙනෙක් පැමිණ සිටියහ. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, මහාචාර්ය ජී.එල්. පීරිස්, තිස්ස අත්තනායක, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, සුරේන් රාඝවන් සහ රාධා ක්‍රිෂ්ණන් එම අධ්‍යාපන ඇමැතිවරුන් අතර වූහ. හිටපු අධ්‍යාපන ඇමැතිවරයකුට ගෞරව කිරීම සඳහා මෙම අනගි හමුව මෙහෙයවූයේ සජබ මන්ත්‍රී බුද්ධික පතිරණ විසිනි. එහිදී කතා කළ සුසිල් ප්‍රේමජයන්ත කීවේ, කාගේත් ඇස් ඇරෙන කතාවකි.
“ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ආසියාවේ පළමුවැනියා තමයි ලලිත් ඇතුළත්මුදලි. ඊට කලින් අගමැති බණ්ඩාරනායක එම ශිෂ්‍ය සංගමයේ ලේකම් වුණා. ලලිත්ගෙන් පස්සෙ ලක්ෂ්මන් කදිරගාමරුත් එම ශිෂ්‍ය සංගමයේ සභාපති වෙනවා. මේ තුන්දෙනාම ලෝකයට අපේ රටෙන් ගිය සුවිශේෂී චරිත. ඒත් මේ තුන්දෙනාම අපේ රට තුළදී ඝාතනය වෙනවා. එතකොට ලෝකයට අපේ ජනසමාජය ගැන ගිය පණිවිඩය මොකක් ද?” සුසිල් ප්‍රේමජයන්ත කීවේය.
“ලෝකයෙන්ම එකසිය විසිහත් වැනි තැන තිබූ කොළඹ වරාය අට වැනි තැනට ගේන්න වරාය ඇමැති හැටියට ලලිත්ට පුළුවන් වුණා....” මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී කියා සිටියේය.
“ලලිත් ඇතුළත්මුදලිගෙ විශේෂත්වයක් තිබුණා. ඒ තමයි අපි හැමෝම බලන්නෙ ඊළඟ මැතිවරණය ගැන. ඒත් ලලිත් කියන්නෙ ඊළඟ පරම්පරාව ගැන බලපු කෙනෙක්. එයාගෙ දැක්ම තිබුණේ අනාගතයට ගැළපෙන මාවතක් ගැනයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට බය නැතිව අතගැහුවා. මගේ තාත්තා එක්දාස් නවසිය තිස් හතරේ අකුරු ලිව්වේ පන්සලේ වැලිපිල්ලේ. මම පළමුවැනි පන්තියට ගිහින් ගල්ලෑල්ලෙ අකුරු ලිව්වේ ගල් කූරෙන්. මගේ පුතා අයන්න ආයන්න කිව්වේ කොපි පොතේ පැන්සලෙන්. තව අවුරුදු ගාණකින් මගේ මුනුපුරන් පාසල් යද්දී මුලින්ම අකුරු ලියන්නෙ මොන තාක්ෂණයෙන් ද කියන එක අපි කවුරුත් දන්නෙ නෑ. එහෙම වේගයෙන් වෙනස් වෙන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයකට එදා අපේ රට ගෙනියන්න ලලිත් කටයුතු කළා...” යැයි එහිදී අදහස් දැක්විණි.
රනිල් සහ මනමේ
මේ සතියේ සිදුවූ සුවිශේෂීම සිදුවීම වන්නේ 70 වසරක් සපිරූ මනමේ නාටකයේ සහ සිංහබාහු නාටකයේ නාට්‍ය කණ්ඩායම කොළඹ පස්වැනි පටු මඟේ පිහිටි රනිල්ගේ නිවසට පැමිණීමයි. මනමේ පළමු දර්ශනයට වසර 70ක් පිරීම නිමිත්තෙන් එම පළමු දර්ශනය නැරඹූ අයකු ලෙස රනිල් කළ ප්‍රකාශය සහ සුබ පැතුම ඇසූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර රනිල්ට දුරකතන ඇමතුමක් ගත් අවස්ථාවේ රනිල් කළ ආරාධනාවකට අනුව මෙම හමුව සිදුවිය. හිටපු මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න සම්බන්ධීකරණය කළ මෙම හමුවට නාට්‍ය කණ්ඩායම පොහොය දිනයේ සවස පහට පැමිණි අතර, රනිල් සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ දෑත් එක්කර ඔවුන් පිළිගත්හ.
රනිල්ගේ එම ප්‍රකාශය ඉදිරි වැඩ කටයුතු සඳහා ලොකු ධෛර්යයක් වූ බව ලලිතා සරච්චන්ද්‍ර පැවසූ අතර, එස්මන්ඞ් වික්‍රමසිංහ ලේක්හවුස් ආයතනයේ සිටි සමයේ සරච්චන්ද්‍රයන් එහි සේවය කළ අයුරු රනිල් සිහිපත් කළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට වරෙක එංගලන්තයට යාමට අවශ්‍ය වූ මොහොතක ගුවන් ටිකට්පත පවා ලබා දුන්නේ රනිල් බව ලලිතා සරච්චන්ද්‍ර සිහිපත් කළාය. මෛත්‍රී වික්‍රමසිංහ ද තමන් මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී අගමැති ප්‍රේමදාස ටවර් හෝල් රඟහලේ සිංහබාහු නාට්‍යය නැරඹීමට පැමිණි අවස්ථාවේ අසුන් පැනවීමට මිතුරියන් සමඟ එක්වූ අතීතය සිහිපත් කළාය. පරම්පරා තුනක් තිස්සේ නාට්‍ය දෙකටම සංගීතය සපයන ශිල්පියකු ද එහිදී රනිල්ට හඳුන්වා දෙනු ලැබූ අතර, එජාපයට සම්බන්ධ පිරිස් ද එහි ප්‍රධාන චරිත රඟපාන බව අනාවරණය විය.
රනිල්ගේ නිවසේ තිබූ සේද මාවතෙන් හමුවූ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම නිරූපිත දුර්ලභ සිතුවම ගින්නෙන් බේරුණු අයුරු ප්‍රවීණ රංගනවේදී සනත් විමලසිරි විමසූ අතර, බොහෝ සිතුවම් සහ බුදුපිළිම ගින්නෙන් විනාශ වුවද ඉතිරි වූ කොටස් සහ ගින්නෙන් කළු වූ බිම සිහිවටන ලෙස එලෙසම තබා ඇති බව රනිල් සහ මෛත්‍රී පැවසූහ. සර්පිනා, තබ්ලා, මද්දල ආදී වාද්‍ය භාණ්ඩ ද රැගෙන පැමිණ සිටි නාට්‍ය කණ්ඩායම නිවසේ සේවකයන්ට ද රසවිඳීමට හැකි වන අයුරින් උස් හඬින් නාට්‍ය ගීත සහ ආශීර්වාද කාව්‍යයන් ගායනා කරමින් රනිල්ගේ නිවසින් නික්ම ගියහ. වයස අවුරුදු 84ක් වන තමන්ටත් නාට්‍ය කණ්ඩායමටත් මෙම හමුවෙන් නව පණක් ලැබුණු බව ලලිතා සරච්චන්ද්‍ර පැවසූ අතර, හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ යෝජනාවකට අනුව මාධ්‍යයට නිකුත් කළ මෙම හමුවේ දර්ශන සමාජ මාධ්‍යයේ සහ ප්‍රධාන මාධ්‍යවල විශාල අවධානයකට ලක්විය.
ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූහ. එහිදී ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින වර්ජන රැල්ලයි. මේ වර්ජන රැල්ලේ විශේෂත්වයක් වන්නේ ඒවායේ පිටුපස ඉන්නේ මේ රජය බලයට පත් කරන්න හුඟක්ම වෙහෙසුණු පිරිස බව ජී.එල්. මෙහිදී සඳහන් කළේය.
”පාරට බැහැලා, මහන්සි වෙලා, කැන්වසින් කරලා, පෝස්ටර් ගහලා, රජය බලයට පත් කරන්න බොහොම ක්‍රියාකාරී මෙහෙවරක් ඉෂ්ට කරපු පිරිස් තමයි දැන් සම්පූර්ණයෙන් කලකිරිලා මේ පාරට බහින්නේ. ඒකට හේතුව දේශපාලනය නෙවෙයි. ජීවත් වෙන්න බැරි එක. එදිනෙදා ජීවත් වීමට මහා දැවැන්ත සටනක් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි හැම ක්ෂේත්රයකම, වෛද්‍ය, ඉංජිනේරු, පෙර පාසල්, විදුහල්පතිවරු, ආපදා සහන නිලධාරීන්, ඔක්කොම මේකට එකතු වෙන්නේ.
නමුත් ආණ්ඩුවට කිසිම සංවේදී බවක් තියෙනවා කියලා පේන්නෙ නෑ. අන්න ඒ නිසා තමයි අපේ ලොකු බයක් තියෙන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත, සංවිධානාත්මක අපරාධ පනත ආදිය ගැන. ඒ කියන්නෙ මේවායින් කරන්නේ මර්දන යාන්ත්‍රණයක් හදන එක. ප්‍රශ්න විසඳීමට උත්සාහ දැරීම නෙවෙයි, ඒවා යටපත් කිරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම සඳහා තමයි ඔය නීති සම්පාදනය කරන්නේ කියලා දැන් පැහැදිලියි.
දැන් උද්ධමනය 9% යි. රනිල් භාර දෙනකොට උද්ධමනය 0.5% යි. ජූනි ඉඳන් නොවැම්බර් මාස තුනකට 3% ක් උද්ධමනය වැඩිවෙලා. ඒක ඇඟට පතට නොදැනී මහ බැංකු අධිපති කියනවා 9% නෙවෙයි ඊටත් එහා යයි කියලා. එතකොට රුපියල ඉතාමත් ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙනවා. දැන් මිනිස්සු එදා වේල හොයාගන්න මුදු, මාල, උගස් කරන්න පටන් අරගෙන “ යැයි පැවසීය.
රාජ දූත

