ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල ආසන සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ නැංවීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2026 වසරේ 132 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ලෝක් සභාවේ උපරිම ආසන සංඛ්‍යාව 850 දක්වාත්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවක උපරිම ආසන සංඛ්‍යාව 650 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

ඒ අනුව එක් එක් ප්‍රාන්තයට සහ මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශවලට වෙන් කර ඇති ආසන සංඛ්‍යාව දැනට පවතින සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 50කින් ඉහළ නැංවීමට නියමිත බව පැවැසෙයි‍.

ඊට අමතරව ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල කාන්තාවන් සඳහා සියයට 33ක ආසන ප්‍රතිශතයක් වෙන් කිරීමේ විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කිරීම ද මෙම සංශෝධනයේ අරමුණක් බව පැවැසෙයි.