(නිමල කොඩිතුවක්කු)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දිය යුතු බවට සෘජු තීරණයක් ගැනීමට ජනාධිපතිවරයයාට හැකියාවක් තිබිය යුතු බව මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කොළඹදී අද (09) පැවසූහ.
මවුබිම සුරැකීමේ ජාතික සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘ඥණාසාර හිමියෝ අත්අඩංගුවට පත් වුනාට පස්සේ එම නඩු තීන්දුව පිලිබඳ සාකච්ඡා කරන්න අපේ කැමැත්තක් නැහැ. නීතියට අපි ගරුකරනවා. මේ වෙනුවෙන් උන්වහන්සේ ඇපෑලක් දාලා තියෙනවා.
මේ රටේ භික්ෂුවට තියෙන ආදරය ගෞරවය මේ ආණ්ඩුව අහිමි කරමින් තියෙනවා. මේ ආණ්ඩුව භික්ෂූන් වහන්සේට එරෙහිව දැවැන්ත කුමන්ත්රණයක යෙදිලා ඉන්නවා.
මේ රටේ භික්ෂූන් වහන්සේලාගෙන් සියයට 80ක් විතර ඉන්නේ මේ ආණ්ඩුවට එරෙහිවයි. හැකිනම් ආණ්ඩුවට කැමති භික්ෂුන් වහන්සේලා කවුද කියලා පෙන්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා.
මේ ආණ්ඩුව රටට එරෙහිව ගෙන යන වැඩ පිළිවළට එරෙහිව අද වනවිට භික්ෂුන් වහන්සේලා නැගි සිටිනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඥාණසාර හිමියන්ට අද දඬුවම් ලැබිලා තියෙනවා.
ඥණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දිය යුතු බවට සෘජු තීරණයක් ගන්න ජනාධිපතිවරයයාට පුළුවන් කමක් තියෙන්න ඕන. ස්ත්‍රී දුෂණය කරලා, මං කොල්ලා කාලා වගේ දෙයක් මෙතන වෙලා නැහැ. එහෙම වෙලා තියෙනවනම් අපි කියන්නේ නැහැ ජනාධිපතිට සමාව දෙන්න කියලා.
රට වෙනුවෙන් කතාකරලා, රණවිරුවන් වෙනුවෙන් කතා කරලා, ආගම වෙනුවෙන් කතා කරලා ජනාධිපති සමාවක් දෙන්න බැහැ කිවුවොත් ඒක ජාතික අපරාධයක් විදියටයි අපි දකින්නේ. ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවළ අපි සකස් කරමින් පවතිනවා.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රටට , ජාතියට එරෙහිව හඬ නැගුවා. එල්. ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගිය යුතුයි කියන අරමුණේ ඉඳගෙන ඇය ප්‍රකාශයක් කළා. අද වනතෙක් කථානායකවරයා මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ.
කථානායකවරයා පක්ෂග්රාහි පුද්ගලයෙක් කියලා අද පැහැදිලියි. කතානායකවරයාගෙන් අද දෙයක් ඇහුවම පොඞ්ඩක් ඉන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහලා තමයි උත්තර දෙන්නේ. අද එතුමා මේ තරම් බාල්දු තත්ත්වයට පත්වෙලා තතියෙනවා.
ඉදිරියේදි රන්ජන් රාමනායක අමාත්‍යවරයාට එරෙහිව තියෙනවා අපහාස නඩුවක්. මේකෙන් තීන්දුවක් එයි. අන්න එදාට ඔය කියන ආණ්ඩුවේ ඉහළ මිනිස්සු විසින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාවක් ලබා දෙනවමයි.
ඒ නිසා මේකේ වාසියක් ඥණසාර හිමියන්ටත් එන්න පුලූවන්. මොකද රන්ජන් රාමනායකට දෙන්න පුලූවන් නම් ඥණසාර හිමියන්ට දෙන්නම වෙනවා. ඒ නිසා රන්ජන් බේරගන්න නම් ආණ්ඩුවට ඥණසාර හාමුදුරුවොත් බේරගන්න වෙයි කියලා අපි විශ්වාස කරනව’’ යැයිද උන්වහන්සේ එහිදි පැවසූහ.