(නිකවැරටිය ප්‍රියානි මංගලිකා සහ වාරියපොල රවීන්ද්‍ර නෙත්තසිංහ)
ඇතැම් මාධ්‍ය විසින් මාධ්‍ය නිදහස භාවිත කරන ආකාරයෙන් රූපවාහිනිය සහ පුවත්පත් බලන විටත් සිතෙන්නේ රටේ ආණ්ඩුවක් නැති ආකාරයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) පැවසීය.
ආණ්ඩුව විසින් කරන යහපත් සංවර්ධන කටයුතුවලට ප්රමුඛත්වයක් නොදී ආණ්ඩුවට විරුද්ධව කරන කතා සහ දේශපාලනඥයන් අතරේ තිබෙන ආරවුල් පමණක් මාධ්‍ය තුළින් පෙන්වීම රටට කරන බරපතළ විනාශයක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදාගම්මානය වන කුරුණෑගල, නිකවැරටිය, කොටවෙහෙර, ‘වෙහෙරපුර’ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ නිවාස ප්රශ්නය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ජාතික වශයෙන් පුළුල් වගකීමක් ඉටුකළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා ගෙන ගිය වැඩපිළිවෙළ අද අපේ රජය යටතේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශක්තිමක් කරමින් කාර්යක්ෂම, විධිමත්ව, ඉලක්ක සහගතව අද කරගෙන යනවා. එහි ප්රතිලාභ ලැබෙන්නේ මේ රටේ නිවාස නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවටයි. සතියකට අඩුම තරමේ ගම්මාන දෙකක් විවෘත කරමින් එතුමා ගෙන යන වැඩපිළිවෙළ අප ඉතාමත් අගය කරනවා. එය සාර්ථක කරගන්න අපි රජය විදියට එතුමාට සහාය දීලා තිබෙනවා.
කෘෂිකර්ම, වාරිමාර්ග ක්ෂේත්රය, නිවාස සංවර්ධන ක්ෂේත්රය, අනෙක් විවිධ ක්ෂේත්රවල ඉතා විශාල වැඩකොටසක් අපි රජයක් විදියට කරලා තිබෙනවා, කරගෙන යනවා. එමෙන්ම හෙට දවසේ සිදුකරනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සඳහන් කළ පරිදි අපේ දේශපාලන ප්‍රතිවාදීන්, විරුද්ධවාදීන් නොයෙකුත් දේවල් කියනවා. හවසට රූපවාහිනිය බැලූ විට පෙනෙන්නේ මේ රටේ ආණ්ඩුවක් නැහැ කියා. උදේ පත්තරේ බැලූ විට හිතන්නේ මේ රටේ ආණ්ඩුවක් නැහැ වගේ කියා. නිදහස සහ ප්රජාතන්ත්රවාදය මොනතරම් ද කියලා එයින්ම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස අද මේ රටේ ආණ්ඩුවට විරුද්ධව දේශපාලන පක්ෂවල වැඩ කරන අය මොනතරම් මේ නිදහස භාවිතා කරනවාද යන්න මින් පෙනෙන පළමුවැනි කාරණාව. කරන යහපත්, සංවර්ධන වැඩ අද මාධ්‍ය තුළ ප්රමුඛත්වයක් දෙන්නේ නැහැ. ආණ්ඩුවට විරුද්ධව කතා කරන දේවල්, දේශපාලනඥයින් අතරේ තිබෙන ආරවුල් තමයි මාධ්‍ය තුළ පෙන්වන්නේ. රටක් සංවර්ධනය වීමට අවශ්‍ය ජනතාව දිරිමත් කරන ජනතා බලාපොරොත්තු ඉටු වෙන යහපත් වැදගත් සංස්කෘතික සදාචාර සම්පන්න සමාජ පසුබිමක් තිබෙන රටක් විදියට යහපත් බව, සදාචාරය, විනයගරුක බව අද මාධ්‍ය තුළ ඉස්මතු කරන්නේ නැහැ. මාධ්‍ය තුළ ඉස්මතු කරන්නේ සැමවිටම ගැටුම්, ආරවුල්, අසමගිකම්, යම් මතභේදකාරී තත්ත්වයන්. මෙය මේ රටට කරන බරපතළ විනාශයක් බව කිව යුතුයි.
මම දැක්කා මාධ්‍ය තුළින් ඊයේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක් ඕන කියලා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා එතැන තමයි අපි වරද්ද ගත්ත තැන. ඒකාධිපතියෙකුගේ ස්වරූපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ට කලින්. ඒක අමතක වෙලා තිබෙනවා. ඒ නිසා තද පාලකයින් ඉල්ලනවා.
පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසකට ලක්කළේ කියන එක අමතක කරන්න එපා. මේක මම පැහැදිලිවම කියන්න ඕන. ඒ නිදහස, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුළු ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිතා කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා.
මේ රටේ සමාජ පරිවර්තන සිදුකළ දේශපාලන නායකයින් කිහිප දෙනෙක් ඉන්නවා. බණ්ඩාරනායක මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා ඒ නායකයින් අතරින් කිහිප දෙනෙක්. නමුත් මූලික වශයෙන් අද තිබෙන මේ සමාජ තත්වයන් ඇතැම් අය වැරදි විදියට භාවිතා කරනවා. ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය, ඒ අත්දැකීම පිළිබඳ අවබෝධයක් නැතිවයි ඒ දේවල් කතා කරන්නේ. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප්රජාතන්ත්රවාදයට ගරු කරන ප්රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක් ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඉල්ලන ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ.
ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලැයිස්ති වෙන්න එපා. අපි මේ කරන සංවර්ධනයත් එක්ක නිවැරදි දේශපාලන ව්‍යාපාරය අපි ශක්තිමත් කරනවා. රටේ දීලා තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ඒ සියල්ල එකට යා යුතු වෙනවා. අපි මේ වසර තුනහමාර තුළ මේ රටේ කිසිම කාලයක නැති ජාත්‍යන්තර මිත්රශීලීභාවයක් ඇතිකරගෙන තිබෙනවා. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ මේ වෙලාවේ. අද ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් සලකනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකනවා. ඔබලාට මතක ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානය මම බලයට එන්න කලින් 2014 වනවිට සම්පූර්ණයෙන් අපෙන් ඈත් වෙලා සිටියේ.
අපි ආණ්ඩුවක් විදියට පත්වුණාම ඒ සෑම කෙනෙක්ගේම විශ්වාසය දිනාගත්තා. අපි මේ යන ගමන පැහැදිලි නිදහස් ප්රජාතන්ත්රවාදී ගමනක් කියලා පැහැදිලිවම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා තමයි අපට අද ණය ආධාර ලැබෙන්නේ. ජාත්‍යන්තර සහයෝගීතාව ලැබෙන්නේ. හිටපු පාලනය ගැන ඔබලා ඔබේ හෘද සාක්ෂියෙන්ම අහන්න ඕන. හිටපු ජනාධිපතිතුමා තමන්ට බලයේ ඉන්න වසර දෙකක් තිබියදී තමයි මැතිවරණයකට ගියේ.
ඒ මැතිවරණයට ගියේ මුහුණ දෙන්න බැරි ප්‍රධාන ප්‍රශ්න දෙකක් නිසා. එකක් තමයි අන්තර්ජාතික වශයෙන් ඇතිවුණ ගැටලු විසඳගන්න බැරිවීම. එදා ඇතිවුණ විදේශ ණය කන්දරාව සමග ඇතිවුණ ආර්ථික අර්බුදය. මේ ප්‍රශ්න නිසා තමයි වසර දෙකකට කලින් මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුවක් විදියට ඒ ප්‍රශ්න දෙකටම කර ගැහුවා. ඒ ප්‍රශ්න දෙක අපි විසඳලා දුන්නා. ඒ නිසා සමාජය තුළ තිබෙන වැරදි දේවල්, අයහපත් දේවල්, අපි නිවැරදි කරලා තිබෙනවා.
සමාජය තුළ පවතින මාධ්‍ය තුළ පෙන්වන ගැටුම්, මතභේද, මේවා මේ රටේ ජනතාවගේ මනස විනාශ කරන්න කරන දේවල්. ජනතාවට ඒවා දැක්කාම ඇතිවන්නේ කඩාවැටීම. ජාතියක්, රටක් විදියට ගොඩනැගෙන්න අධිෂ්ඨානශීලීභාවය, අවංකභාවය, කැපවීම, අපේක්ෂාවන්, ඒවා ඉෂ්ට කරගන්නයි කටයුතු කරන්න ඕන. ඒ ජනතාව නොමග යවන විදියට මාධ්‍ය නිදහස භාවිතා වෙනවා නම්, සමාජයේ පෙන්නුම් කරන යහපත් බව වැරදි විදියට කෙනෙක් දකිනවා නම්, ඒ ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා.
ඒ නිසා මේ සියලු තත්වයන් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ඇතුළු සියලු ක්ෂේත්‍ර ගත්තොත් අපි ආණ්ඩුවක් විදියට විශාල වැඩකොටසක් කරලා තිබෙනවා” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-
අද මේ බිහිවුණු වෙහෙරපුර ගම්මානය හුදෙක් ඉඩම් දීමට නිවසක් තනන්නට මාර්ග පහසුකම්, විදුලිය, ජල පහසුකම් දීමට සීමා වූ ගම්මානයක් පමණක් නොවේ. අපි මේ ගම්මානයේ ජනාධිපති කාර්ය සාධක වැඩසටහන් 5ම ක්‍රියාත්මක කරනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ළදරුවන් සුරක්ෂිත කරන වැඩසටහන. අපි බිහිකරන සෑම උදාගමකම පොදුවේ ඔසු උයනක් නිර්මාණය කරනවා. ඒ ගෙවතුවල දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අවශ්‍ය ඖෂධ පැළෑටි පැළ කරලා ඒ ඵලදාව ආයුර්වේද දෙපාර්තමේන්තුවටත් ආයුර්වේද නිෂ්පාදන කරන පෞද්ගලික ආයතනවලටත් ලබාදීමට කටයුතු කරනවා.
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් මෙරටේ උදාගම්මාන 2500ක් ඉදිකරන කොට පැහැදිලිවම හැම ගෙවත්තකම ඖෂධ වගාව ආරම්භ කරල මම පොරොන්දු වෙනවා අපි පිටරටට ගෙවන ඒ ලක්ෂ 8900 ඉතිරි කරලා මේ රටේ මේ අහිංසක ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලා විදේශ සංචිත ශක්තිමත් කිරීමට කටයුතු කරනවා කියලා මම පැහැදිලිව කියනවා.
දැන් ඩොනල්ඞ් ට්‍රම්ප් මොනවද කරන්නේ. එයා හිතනවා එයාගේ රට ගැන, ජනතාව ගැන. රට පළමුව, ජාත්‍යන්තරය දෙවනුව. යහපාලන රජය කරන්නෙත් ඒකයි. ජනාධිපතිතුමාත් ගරු ආග්රාමාත්ය තුමා ඇතුළු අපේ රජය කරන්නෙත් ඒකයි. පළමුව මාතෘ භූමිය පළමුව ශ්‍රී ලංකාව. ඊට පස්සේ ජාත්‍යන්තරයයි ඔය අනිත් රටවල් ටිකයි. මෙන්න මේකයි අපේ ගමන. අපි ළඟ කාඞ්බෝඞ් දේශප්‍රේමීත්වයක් නැහැ. රණවිරු ගම්මාන හදලා ඒවායෙන් රණවිරුවන්ගෙන් සල්ලි අය කරන දේශප්‍රේමීත්වයත් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන දේශප්‍රේමීත්වය හදවතින් එන්නේ. ඒක මේ අරලියගහ මන්දිරය ගැන ජනාධිපති මන්දිරය ගැන සිහින මවමින් එන දේශප්‍රේමීත්වයක් නොවේ. එහෙම දේශප්‍රේමීන් තමා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ යහපාලන රජය සතුව තියෙන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.