සහාය අධ්‍යක්ෂ ජානක ආදාසූරිය
සහය අධ්‍යක්‍ෂවරයා යනු ටෙලි නිර්මාණයක හෝ චිත්‍රපටයක වගකීම් සහගතම පුද්ගලයා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. නිර්මාණයක සම්පූර්ණ බර පැටවී තිබෙන්නේ සහය අධ්‍යක්‍ෂවරයාටය. මේ දිනවල විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ ඒ වගකීම් සහගත භූමිකාව බාරවී තිබෙන්නේ ඔහුටය. ඔහු නමින් ජානක ආදාසූරිය වුවත් කලා ලෝකයේ අය හඳුනන්නේ ආදරණීය ආදා ලෙසය. මේ කතා බහ ඔහු සමගය.
- මුලින්ම ඔබ සහය අධ්‍යක්‍ෂණයෙන් දායක වූ නිර්මාණ ගැන කතා කරමු.
මීට පෙර ගඟන පියවර, හදවතේ කතාව, ශෙලීනා, දස්කොන්, ඇහැලේපොළ කුමාරිහාමි, කොළඹ ඉතාලිය, මෙඩි සිනා, පාරමිතා, යර්ස් බොස්, ශ්‍රී දළදා ගමනය.
- සහය අධ්‍යක්‍ෂවරයා කියන භූමිකාවට ඔබ ඇතුළු වෙන්නේ කොහොමද?
මගේ යාළුවෙක් හරහා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කියන අධ්‍යක්‍ෂවරයා හඳුනා ගැනීමට ලැබෙනවා. ඒ හරහා ඔහුගේ නිර්මාණ දෙක තුනකට මුලින්ම රංගනය සඳහා සම්බන්ධ වුණා. පසුකාලීනව මට ඔහුගෙන් ආරාධනා ලැබෙනවා, ඔහුගේ සහය අධ්‍යක්‍ෂවරයා විදියට වැඩ කිරීමට. එතකොට මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ.
ඔහු තමයි මට හැමදේම ඉගැන්නුවේ. ඔහු තමයි මගේ ගුරුවරයා. ඉන්පසු නිව්ටන් ගුණසේකර හා ප්‍රසන්න ඉත්තෑපාන කියන සහය අධ්‍යක්‍ෂවරු යටතේ මම දෙවන සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස දීර්ඝ කාලීනව වැඩ කළා. ඒ අත්දැකීම් එක්ක මමත් සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා.
- සහය අධ්‍යක්‍ෂවරයා කියන භූමිකාව ගැන මොකක්ද හිතෙන්නේ?
නිර්මාණයක ප්‍රධාන විධායක නිලධාරි හෙවත් සැලසුම්කරු වන්නේ ඔහු. නිර්මාණයක සාර්ථක අසාර්ථකභාවය රැඳෙනවා ඔහු කරන සැලසුම් මත. ඒක ලොකු වගකීමක් වුණත් අද බොහෝ අය ඒ භූමිකාව ගැන කතා කරන්නේ නැහැ. සම්මාන උළෙලකටවත් අපට ආරාධනා නැහැ. අලුතෙන් සහය අධ්‍යක්‍ෂයට එන අය අතරත් ක්ෂේත්‍ර ගැන රංගන ශිල්පීන් ගැන අවබෝධයක් නැති අය ඉන්නවා. එවැනි ගැටලු තියෙනවා.
- අධ්‍යක්‍ෂවරයෙක් වීමට සහය අධ්‍යක්‍ෂවරයා උදව්වක් වෙනවාද?
සහය අධ්‍යක්‍ෂවරයා යනු අධ්‍යක්‍ෂවරයාගේ සහයකයෙක් නෙවෙයි. විවිධ නිර්මාණකරුවන් සමග වැඩ කරද්දී විවිධ අත්දැකීම් ලැබෙනවා. මේක වෘත්තියක්.
- ඔබට අධ්‍යක්‍ෂවරයෙක් වීමට හීනයක් තිබෙනවා ද?
මං දැන් බොහෝ කලක් සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස වැඩ නිසා මගේම ක්‍රමයට නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේ දී එය සැබෑ වෙයි.
- ඔබ කුරුණෑගල වාරියපොල ගමෙන් ඇවිත් මෙහෙම තැනකට එන්න මොන විදියේ කට්ටක් ද කෑවේ?
මෙතන හොඳයි, නරකයි දෙකම තියෙනවා. තමාගේ මට්ටම අනුව වැඩ කරන්න පුළුවන්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, නිව්ටන් ගුණසේකර, ප්‍රසන්න ඉත්තෑපාන නිසා තමයි ජානක ආදාසූරිය කියලා චරිතයක් ක්ෂේත්‍රය තුළ මතු වුණේ. ලංකාවේ ප්‍රබලයි කියලා ඉන්න ගොඩක් අය එක්ක මට වැඩ කරන්න ලැබුණේ මගේ කැපවීම නිසයි.
- ඔබ නිර්මාණ කීපයක් එකවර බාර ගන්නවා ද?
එක වරකට එක නිර්මාණයයි මම තෝර ගන්නේ. කීපයක් කරන්න අමාරුයි. මගේ සේවය දුරකතනයෙන් විතරක් දෙන්න මම කැමති නැහැ. නිර්මාණ තෝරා ගැනීමේ දී මම බලන දේවල් ටිකක් තියෙනවා. ඒ අනුව තෝරා ගන්නවා. ඉදිරියේ දී සිනමාවටත් එන්න අදහසක් තියෙනවා. මගේ පවුලේ අයත් උපරිම සහයෝගයක් මට ලබා දෙනවා. මං කියන්නේ මොන විදියට මේ ක්ෂේත්‍රයට ආවත් ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගෙන එන්න පුළුවන් නම් හොඳයි. අලුත් අය අතර දක්‍ෂතාව තියෙනවා. ඒත් වැඩ කිරීමේ දී යම් යම් ගැටලු තිබෙනවා.
අමිල චින්තක ගමගේ