ඉන්දියානු සිනමාවේ වැඩකිරීම තමයි මගේ හීනය - චතුරංග කොඩිතුවක්කු



කඩවසම් තරුණ පෙනුම, අසමසම හඬ පෞරුෂය, තුරුණු සිත් ආලෝලනය කළ හැකි රංග ප්‍රතිභාව, තරුණ නළුවෙකුට ආභරණයකි. එකී ගුණාංගයන්ගෙන් පූර්ණය වෙමින් රසික - රසිකාවියන් වසඟයට ගැනීමට සමත් වූ ඔහු චතුරංග කොඩිතුවක්කුය.පුංචි තිරයේ ටෙලි වෘතාන්ත කිහිපයකම ප්‍රේමවන්තයා වෙමින්, ප්‍රේක්ෂක සිත්වලට ආදරයේ මිහිරියාව කියාදුන් ඔහු මෙවර සැදැල්ල සමග කළ කතාබහයි මේ.

  • චතුරංග මේ දවස්වලනම් කාර්යබහුලයි වගේ නේද?

ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කෙරෙනවා. ඒනිසා රංගන කටයුතුත් එක්ක මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුලයි. 

  • ඉතින් ඒ කලා කටයුතු ගැන සඳහන් කරමු..

කලා කටයුතු කීවොත්, ITN නාළිකාවෙහි සතියේ දිනවල විකාශනය වන ජානූ සහ සති අන්තයේ විකාශනය වන රොන් කියන ටෙලි නාට්‍යයෙත්, ස්වර්ණවාහිනියේ SEE YOU ටෙලි නාට්‍යයෙත් , සියත නාළිකාවේ විකාශනය වන සින්ධූ ටෙලි නාට්‍යයෙත් මේ වෙනකොට රංගන කටයුතු කරගෙන යනවා. ඒවගේම තවත් අලුත් නිර්මාණයක් එන්නත් තියනවා.

  • චතුරංගගේ සින්ධු ටෙලි නාට්‍යයේ පවන්ගේ චරිතයට මේ වෙනකොට ප්‍රේක්ෂකයො ගොඩදෙනෙක් ආදරය කරන්න පටන් අරන්. ඒ ගැනත් කියමු..

මේ නාට්‍යයට මාව සම්බන්ධ කරගන්නේ තුසිත කාරියවසම් මහතා. ඔහු මේ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා. ඇත්තටම ඒක මම ආසාවෙන් වැඩකරන ටෙලි නාට්‍යයක්. පවන් කියන්නේ පවුලෙ වගකීම් ඉටුකරන්න මහන්සි වෙන පිරිමි ළමයෙක්. 

  • චරිත තෝරගන්නකොට බලන විශේෂ දේවල් තියනව ද? 

එහෙම විශේෂත්වයක් නැහැ. නමුත් මම එකම විදිහේ චරිත කරන්න කැමති නැහැ. ඒවගේම මේ වෙනකොට රඟපාන චරිතත් ගොඩක් වෙලාවට පෙම්වතා වුණත් - ඒව එකිනෙකට වෙනස් චරිත. යම්කිසි චරිතයක් තෝර ගන්නකොට, ඒක මට කරන්න පුළුවන් සහ මට හොඳයි කියලා හිතුනොත්, අනිවාර්‌යයෙන්ම මම ඒ චරිත භාරගන්නවා.

  • චතුරංගට තවමත් නිරූපණය කරන්න හමුවෙලා නැති, නමුත් කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනව ද?

ඇත්තටම එහෙම කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් කියල කියන්න තියෙන්නේ, පොලිස් නිලධාරියෙකුගේ චරිතය තමයි.  ඒහැර නම් එහෙම ආසයි කියල කැටගරි කරපු චරිත නැහැ. මම දැන් කරන චරිතත් ආසාවෙන් තමයි කරන්නේ.

  • වෘත්තීමය රංගන ශිල්පියෙක් වීම ගැන චතුරංග සතුටින්ද? 

එක්තරා පැත්තකින් සතුටුයි. හැබැයි අපේ ක්ෂේත්‍රය ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා. නමුත් ඒක හොඳ පැත්තකට හැරෙයි කියල බලාපොරොත්තුවක් මට තියනවා. ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ තියන යම් යම් ගැටලුත් එක්ක වෘත්තීමය රංගන ශිල්පියෙක් වීම කියන එක ටිකක් අවදානම් සහගත වැඩක්. නමුත් මම මේක අතහරින්න කැමති නැහැ. ඒ නිසා තෝරගත්ත දේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.

  • චතුරංග පුංචි තිරයේ හොඳ පෙම්වතෙක්. රංගන කටයුතුවලදී පෙම්වතියන් කී දෙනෙක් විතර හමුවෙලා තියෙනව ද?

මම හිතන්නේ මේ වෙනකොට රංගන කටයුතුවලදී රංගන ශිල්පිනියන් 7ක් හෝ 8ක් පෙම්වතියන් විදිහට හමුවෙලා තියනවා. ඒ අතරින් සුහන්දි එක්ක ටෙලි නාට්‍ය දෙකක විතර - පෙම්වතුන් විදිහට රංගනයෙන් සම්බන්ධ වෙන්න ලැබුණා.

  • ඒ අය අතරින් චරිතෙට උපරිම සාධාරණයක් කරන්න සහ චතුරංගගෙ රංගන කටයුතුවලට පහසුම කෙනා වුණේ කවුද?

හමුවුණු අය හැමෝම වගේ හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ අතරින් සුහන්දි එක්ක හොද කෙමෙස්ට්‍රියක් හදාගන්න පුලුවන් වුණා කියලා මම හිතනවා. 

  • චතුරංග සැබෑ ජීවිතයේ ප්‍රේමය විඳින කෙනෙක් ද?

දැනට නම් ප්‍රේමය විඳින කෙනෙක් නෙමෙයි. මොකද මම හිතනවා ප්‍රේමය කියන තැනදි තාම කාටවත්ම මාව හරියට තේරිලා නැහැ කියල. 

  • ඔබ යොවුන් ආදරය දකින්නෙ කොයි විදිහටද?

ආදරය කියන්නේ, තේරුම් ගැනීම හා විශ්වාසය. මේ දෙක තමයි මම හිතන්නේ - ගොඩක්ම වැදගත්. ඒවගේම තමයි, ආදරය පදනම් විරහිතයි. ඒනිසා මං ආදරය දකින්නේ තේරුම් ගැනීම, විශ්වාසය, යාළුකම, වගේ හැම දේම එක්ක මුසුවුණු - පදනම් විරහිත දෙයක් විදිහට.

  • එතකොට රිදී තිරයට අවතීර්ණ වෙන බලාපොරොත්තුවක් එහෙම නැද්ද?

දැනට මම චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉන් එකක් ඉන්දියන් තෙලිඟු චිත්‍රපටයක්. ඒකෙ මට ලොකු චරිතයක් ලැබුණෙ නැතත්,  ඒකට සම්බන්ධ වෙන්න තිබුණ ප්‍රධානම හේතුව තමයි, ඉන්දියන් ප්‍රඩක්ෂන් එකක වැඩ කරන්න තිබුණ ආසාව. ඒ කියන්නේ - ඔවුන් වැඩ කරන විදිහ, ඔවුන්ගේ සිස්ටම් එක, මොකක්ද කියලා අත්දැකීම් ගන්න තිබුණ ඕනෑකම. ඉතින් ඒ නිසා මම ඒකට සම්බන්ධ වුණා. මගෙ අනිත් චිත්‍රපටය ගැන කීවොත්, ඒක ලබන වසරේ එළි දක්වයි. ඒකෙත් පෙම්වතෙකුගෙ චරිතය තමයි නිරූපණය කළේ. ඊට අමතරව තාම නම් වෙන ආරාධනා ලැබිල නැහැ.

  • ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ගැන මතක් කළොත්?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සෝෂල් මීඩියාවලත්,   මගතොටේදි හමුවුණාමත්, ඒ ආදරේ දැනෙනවා. මං හිතන්නෙ සල්ලි වලටත් වඩා රංගන ශිල්පියෙකුගේ වත්කම තමයි ප්‍රේක්ෂකයෝ. මට කියන්න තියෙන්නේ, මමත් මගේ ප්‍රේක්ෂකයින්ට ගොඩක් ආදරෙයි කියල තමයි.

  • චතුරංගට ගැහැණු ළමයින් ගෙන්, අනන්තවත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ විදියට රසිකාවියන්ගෙන් ලැබුණු - ඔබේ හදවතේ රැඳුණු සුවිශේෂී ප්‍රතිචාර තියෙනවද?

එහෙම කීපයක් තියෙනවා. ඒත් ඒව ප්‍රසිද්ධ මාධ්‍යයකට කියන්න බැහැ. එසේ කීම ආචාරධාර්මික නෑ, ඒකයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් මම බරපතල අපහසුතාවට පත්වෙච්ච අවස්ථා කීපයකුත් තියනවා. මගේ නමින් ව්‍යාජ ගිණුම්, ෆෝන් නම්බර් හද‌ාගෙන, මගේ පොටෝස් එහෙමත් දාලා, මමත් නොදැන – වංචනික පුද්ගලයින් ගැහැනු ළමයි යාළු කරගෙන ඇති අවස්ථා කීපයක් වාර්තා වීමයි ඒ. 

  • පවුලෙ විස්තර ටිකකුත් කියමු.....

මම තමයි අපේ ගෙදර එකම ළමයා. දැනට මගේ මව - පියා දෙදෙනාම ජීවතුන් අතර නැහැ. මේ දවස්වල ඉතින් තනියම තමයි ජීවිතේ ගතකරන්නේ.

  • ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

රංගනයෙන් ඉදිරියට ගිහිල්ලා හොඳ රංගන ශිල්පියෙක්, තරුවක් වෙන එක තමයි මගේ ආශාව. ඒ වගේම මට තව හීනයක් තියෙනවා ඉන්දියානු සිනමාවේ වැඩ කරන්න. තවත් කීවොත්, අපේ රටේ නම අරන් යන්න පුළුවන් හොඳ වැඩක් කරන්නත් - ඉලක්කයක් තියෙනවා.


දුලක්ෂි ලියනගේ