පසුගිය මාර්තු මස 14 වැනිදා ඊශ්‍රාලයේ Tel Aviv සිනමා ශාලාවේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන “යකඩ දියණියෝ” තිරගත විය. මෙය ශ්‍රී ලාංකික චිත්‍රපටයක්, එම රටේ තිරගත වූ ප්‍රථම අවස්ථාව බවයි පැවසෙන්නේ. “යකඩ දියණියෝ” අධ්‍යක්ෂණය ගාමිණී හේවාවිතාරණ ගෙනි. නිෂ්පාදනය කර ඇත්තේ නිරෝෂා කුමාරි රත්නායක හා මංගල මඩුගල්ල විසිනි.
“යකඩ දියණියෝ” නිෂ්පාදනයට එක්වන නිරෝෂා රත්නායකගේ කුළුඳුල් නිෂ්පාදනය මෙය වන අතර ඇය ඊශ්‍රායල් රටේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරයි. එසේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇයගේ ගම් පළාත මහනුවර ගෙලිඔය වේ. නිරෝෂා පුතුන් දෙදෙනකුගේ මවකි. පුතුන් දෙදෙනා දක්ෂ බොක්සිං ක්‍රීඩකයන් වන අතර මහනුවර පාසල් අතර අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෝ වෙති. ඔවුන් බොක්සිං උපදේශකවරුන් ලෙසත් කටයුතු කර ඇත.
නිරෝෂා ඊශ්‍රායල් හි දුක් කම්කටොළු මැද රැකියාව කරමින් තම උත්සාහය, කැපවීම හා ධෛර්යය තුළින් ජීවිතය ජයගත් බවයි පවසා සිටින්නේ.
දැඩි උත්සාහයෙන් උපයාගත් මුදලින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙළඹුණේ තම දරුවන් දෙදෙනා කලාවට දැක් වූ අසීමිත ආදරය නිසා බව ඇය කීවාය. බොක්සිං ක්‍රීඩාවට වගේම මෝස්තර නිරූපණයට ද ඇලුම් කළ ඔවුන්ට රංගනය තුළින් තම හැකියාව ලෝකයට පෙන්වීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් “යකඩ දියණියෝ” නිෂ්පාදනයට අත ගැසූ බව ඇය වැඩිදුරටත් කීවාය.
නමුත් චිත්‍රපටය රූපගත කිරීම් අවසන් කිරීමටත් පෙර එහි ප්‍රධාන චරිතය රඟපෑ ඇගේ වැඩිමහල් පුත් චතුර රත්නායක හදිසි අනතුරකින් මෙලොව හැරගොස් ඇත. තම පුතාගේ වියෝවෙන් දැඩි කම්පනයට පත් ඇය පෙරළා ඊශ්‍රායලයට නැවත ගිය බවත් සියල්ල අතහැර දැමීමට සිතුණු බවත් පවසා සිටියාය. නමුත් අධ්‍යක්ෂක හා සම නිෂ්පාදක මඩුගල්ල ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම මත දරුවාගේ ආසාව ඉෂ්ඨ කිරීමට සිතා නැවත නිෂ්පාදනය අවසන් කළ බව සඳහන් කර සිටියාය.
තමන් සේවය කරන රටේ ශ්‍රී ලාංකික හිතවතුන්ගේ දැඩි ඉල්ලීම මත මුලින්ම ඊශ්‍රායලයේ පසුගියදා තිරගත කළ බවත් නුදුරේදීම ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට සූදානමින් සිටින බවද සඳහන් කර සිටියාය.
තම වැඩිමහල් පුතාගේ තිබූ ආසාව බලාපොරොත්තුවක් ලෙස ඉෂ්ඨ කිරීම තම යුතුකමක් යැයි සිතන බවත් කලාවට ඔවුන් තුළ තිබූ ආදරය නිසා කොතරම් වේදනාකාරී වුවත් විඳදරා ගනිමින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවත් අවසන් වශයෙන් අප හා පවසා සිටියාය.
ශාන් බන්දු