ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගයනි අමුතු රංගනයක - Gayani Gisanthika


නැවතත් මම රඟපෑමට මේ විදිහට දායක වෙන්නෙ අවුරුදු හතරකට විතර පස්සෙ. ඔස්ට්‍රේලියාවට යාමට පෙර අන්තිමට රඟපෑවේ 2019 වසරේදී. හැබැයි නිහැඩියාව මට ප්‍රශ්නයක් නෙවෙයි. ගුණාත්මක නිර්මාණයකට දායක වීම වඩා හොඳයි. සුමිත් රත්නායකගෙ මෙම ටෙලි නිර්මාණය ඒ වගේ හොඳ ගුණාත්මක නාට්‍යයක්. හැල හැප්පිලි මැද ජීවිතය ගෙවන පහළ මධ්‍යම පාංතික කාන්තාවකගේ චරිතයක්. මෙහි ප්‍රධාන ගැහැනු චරිත හතරක් තියෙනවා. මගේ චරිතය එයින් එකක්. මේක ඇත්තටම මට වෙනස් අත්දැකීමක්.

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගයනි ගිසන්තිකා මේ දිනවල රංගනයෙන් දායක වන නාට්‍යයේ චරිතය ගැන කියා සිටියේ එලෙසිනි. තරුපති මුණසිංහ ප්‍රවීණයාගේ ආදරණිය බිරිඳ වන ගයනි  පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. ඇය මෙලෙසින් පැමිණ සිටින්නේ කෙටි නිවාඩුවකටය.  ඒ නිවාඩුව තවත් අරුත්බර රංගනයක් වෙනුවෙන් වෙන් කළ  ඇයගෙ ජීවිතයේ නවමු විස්තර  සඳැල්ලට  කී විදිහයි මේ.

  • ගයනි ඔබ තරුපති සහ දරුවන් දෙදෙනා සමග  ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නෙ කොහෙද?

මෙල්බර්න් නුවර.

  • කොහොමද එහි ගෙවන ජීවිතය? රැකියාවක් කරනවද?

රැකියාවක් දැනට කරන්නෙ නැහැ. ගුරුවරියක ලෙස පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඒත් රැකියාවක් නොකරන්නෙ දරුවො දෙන්නගෙ වැඩ කටයුතු වලට මුල්  තැන දෙන්න ඕනැ නිසයි. ඒ වගේම රංගනය සඳහා වන විෂයයන් හැදෑරීම නිරන්තරයෙන් සිදුවෙනවා. ඒ වගේම කවි ලිවීම මගේ ජීවිතයේ අද වන විට රිද්මයක් බවට පත්වෙලා. කියවීමටත් මම හරි ආසයි. රංගනයට එයින් ලැබෙන දේ බොහෝමයි.

  • රඟපෑමෙන් ඈත්ව සිටීම දනවන්නේ මොනවගේ හැඟීමක්ද?

දෙවන වතාවේ ඔස්ට්‍රේලියාවට යාමට පෙර, මම රංඟනයෙන් බොහොම සක්‍රීයව හිටියෙ. වෘත්තීය ජීවිතය වෙනුවෙන් මම තෝරාගත්තෙ රංගනයයි. ඒ නිසා  රංඟනය වෙනුවෙන් කැපවී කරන කටයුතු සිදුවෙනවා. ඔස්ට්‍රේලියාවේ සිටීම නිසා රංඟනය වෙනුවෙන් ලැබෙන අවස්ථා අල්පයි. එවිට ආර්ථිකමය වශයෙන් ප්‍රශ්න  ගැටලු ඇති වෙනවා. ඒක ස්වාභාවික දෙයක්. කොහොමටත් ලෝකයේ බොහෝ නළු නිළියන් තමුන්ගෙ රටේම ජීවත් වෙන්නෙ නැහැ. තමුන්ට හොඳ රංගනයක් ලැබුණාම ඇවිත් රඟපාලා යනවා. මාත් ඒ විදිහට තමයි  කටයුතු කරන්නෙ. පාළුව කාන්සිය නොයෙන විදිහට වැඩ කටයුතු කරමින් මෙහි දවස ගෙවනවා. මේ විදිහට තවත් නාට්‍යය නිර්මාණයකට ඇරයුම් ලැබී තිබෙන්නෙ.

  • මේ රඟපාන චරිතය වෙනස් කියලා කියන්න හේතුව?

කටකාර දඩබ්බර ගති ලක්ෂණ ඇති කාන්තාවකගෙ චරිතයක්. පොලීසිය එක්ක නිරන්තරව ගැටෙන චරිතයක්. ඒක මට ඇත්තටම වෙනස් අත්දැකීමක්. මීට පෙර මෙවැනි චරිතයක් මම රඟපාලා නැහැ.  එක්තරා විදිහකට ප්‍රේක්ෂකයින් මාව මේ නිසා වෙනස් විදිහට දකීවි. මම දකින වෙනස ඔවුන්ටත් දැනේවී.

  • මෙල්බර්න්හිදී නිර්මාණවලට දායක වුණේ නැද්ද ?

දායක වුණේ නැහැ. මෙල්බර්න්වල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් හරිම කාර්ය බහුලයි. ඒ රටේ ස්වභාවය අනුව එහෙම වෙන්න වෙනවා.  ඒ අතරේ ඔවුන්ගෙන් සමහර අය නිර්මාණ වගේම ප්‍රසංග ඇතුළු දේ සංවිධානය කරනවා. පුද්ගලිකව ගත්තොත් මට මගේ ගෙදර වැඩ කටයුතු එක්ක අමතර දේ වෙනුවෙන් කාලය කැප කරන්න අසීරුයි. ඒ නිසා කිසිවකට දායක වුණේ නැතත් ජීවිතය හරි සතුටින් ගෙවන්නෙ. ඒත් රංගන ජීවිතයේ මගේ ඉදිරිය වෙනස් කාල වකවානුවක් වේවි.



සඳුන් ගමගේ