කලා ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගන්නයි බලාපොරොත්තුව - නයෝමි පෙරේරා



දක්ෂ පිටපත් රචකයෙකු වූ තම සැමියාගේ අත්වැලින් කලා ලොවේ මුල් පියවර තැබූ ඇය දැන් තම දක්ෂතාවයෙන් පුංචි තිරය හැඩකරමින් සිටියි. මේ දිනවල සිත නිදි නෑ හි සදලි ලෙසත්, බඹරෙක් ඇවිත් හි රංජනී ලෙසත්, පාවී එන්න ආසයි හි එළීනා (බේබී) ලෙසත් ප්‍රේක්ෂක සිත් තුළ මතකයන් එක් කරමින් සිටින ඇය නමින් නයෝමි පෙරේරා ය. මේ මෙවර සැඳැල්ලෙන් ඈ වෙනුවෙන් වෙන්කල ඉඩකඩයි...                                                                                                                                                                         

  • ඔබ මේ දවස්වල එකිනෙකට වෙනස් චරිත එක්ක පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඉතින් කොහොමද කලා කටයුතු?

පුංචි තිරයේ ටෙලිනාට්‍යය තුනකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ හිරැ නාළිකාවෙ විකාශනය වන බඹරෙක් ඇවිත් සහ පාවී එන්න ආසයි කියන ටෙලි වෘතාන්ත දෙක සහ දෙරණ නාළිකාවේ සිත නිදි නෑ කියන ටෙලි නාට්‍යය. ඇත්තටම ඒ චරිත තුනම එකිනෙකට වෙනස්. ඒ වෙනස්කම මට ලොකු අභියෝගයක්. මොකද චරිත තුන තුන් විදිහක්, රූගත කිරීම් වුණත් ළඟ ළඟ වැටිල තියෙන්නේ ඉතින් කැරුක්ටර් ජේන්ජ් එක පවත්වගෙන යන එක පහසු නැහැ. එතනදි  බඹරෙක් ඇවිත් කියන ටෙලි නාට්‍ය ගොඩක් වෙනස්. ඒක 70 දශකයට අයත් එකක්. අපි එතනදි කතාබහ කරන විදිය වෙනස්, හැසිරෙන විදිහ වෙනස්. ඒවගේම හොඳ ඇක්ටින් කැපෑසිටි එකක් තියන චරිතයක් ඒක. ඉතින් ඒවගේ වෙනස් විදිහෙ චරිත එක්ක තමයි මේ දවස් ගෙවිල යන්නේ. හැබැයි මම ඒ චරිත තුනම කරන්නේ හරිම කැමැත්තෙන්. පුංචි තිරයේ මේ වැඩ කටයුතුවලට අමතරව වෙළඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. 

  • ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?

ඇත්තටම ඒ ප්‍රතිචාරත් තුන් විදිහක් කීවොත් හරි. මොකද නිර්මාණ තුනට කැමති පිරිස් වුණත් එකිනෙකට වෙනස්. ඒවගේම විකාශනය වෙන වෙලාව නිසාත් බලන පිරිස වෙනස් වෙනවා. මේ වගේ හේතු නිසා තමයි ඒ ප්‍රතිචාර වෙනස් වෙන්නේ. ඇත්තටම මගේ සිත නිදි නෑ කියන ටෙලි නාට්‍ය විකාශනය වෙන වෙලාවත් එක්ක ගොඩක් පාසල් ළමුන් ඒක බලන්න පුරැදුවෙලා ඉන්නවා. ඒ නිසා ලොකු පොඩි හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒවගේම මගේ අලුත්ම ටෙලිනාට්‍ය තමයි පාවී එන්න ආසයි. එතනදිත් හිතපු නැති තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බඹරෙක් ඇවිත් ටෙලිනාට්‍යය ගැන කතා කළොත් ඒකට ලැබෙන ප්‍රතිචාර අනෙක් නිර්මාණවලට සාපේක්ෂව ටිකක් වෙනස්. මම හිතන්නේ ඒ කතා සාරයත් එක්ක ඒදේ සිද්ධ වෙනවා ඇත්තේ. ඇත්තෙන්ම එතනදි මට ක්ෂේත්‍රයේ ඇතුළෙ ඉන්නෙ මගේ සහෝදර රංගන ශිලිපීන්ගෙන් වගේම අධ්‍යක්ෂකවරැන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

  • නයෝමි චරිත තෝරගද්දි තමන්ටම කියල දාගත්ත සීමා තියනවද?

අපිව චරිතවලට තෝරගන්නකොට අපි අධ්‍යක්ෂකතුමා සහ තිර පිටපත් රචකයා සමඟ කතා කරනවා. එතනදි ගොඩ දෙනෙක් මගේ කැපෑසිටි එක දැනගෙන තමයි මට කතා කරන්නේ. නමුත් මම එතනදි මූලිකත්වය දෙන්නේ ඒ චරිතය කරන්න පුළුවන් කියල මට විශ්වාසයක් තියනවද කියන එකට. ඒවගේම මම තවත් පොඩි දෙයක් ගැන හිතනවා. සාමාන්‍යයෙන් මම ගැහැණු ළමයෙක් විදිහට ඕවර් යන සීන් තියන චරිත කරන්නෙ නැහැ. ඒ හැර මට විශ්වාසය තියන ඕනම චරිතයක් කරනවා.

  • ඔබ රංගනයට ප්‍රවිශ්ට වෙන්නෙ කොහොමද?

මම මුලින්ම කටයුතු කළේ නිරෑපණ ශිලිපිණියක් විදිහට. ඒ වගේම මම ස්වර්ණවාහිණී නාළිකාවේ අවුරැදු කුමරිය තරගයේ අවසන් වටය දක්වාත් පැමිණි‍යා. ඒ දේවල් ඒ විදිහට සිදුවුණත් මම මේ ක්ෂේත්‍රයට එන්නේ මගේ පෙම්වතා නිසා. ඔහු සමඟ තිබුණු සම්බන්ධය තමයි මම මෙතනට ●රැගෙන ආවේ. විශේෂම දේ තමයි මට රංගනයට අවස්ථා ලැබෙන්නේ විවාහයෙන් පසුව වීම. ඇත්තටම මේ මම හිතපුම නැති ගමනක්. රංගන ශිල්පිණියක් වෙන්න ආසාව තිබුණත් ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් තිබුණෙ නැහැ. නමුත් අහම්බෙන් වගේ මට බුද්ධිකව හමුවුණා. ඉතින් එයා හරහා මම මේ වැඩවලට සම්බන්ධ වුණා.

  • මේ වෘත්තිය තෝරා ගැනීම ගැන ඔබ සතුටින්ද?

ඇත්තටම මේ වෘත්තිය හරිම ලස්සන, විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙන, නිතරම හරි සතුටින් ඉන්න පුළුවන්, හරි වෙනස් වෘත්තියක්. මම හිතන්නෙ නැහැ මේ තරම් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්- අත්දැකීම් ගන්න පුළුවන් වෙන ක්ෂේත්‍රයක් ඇති කියලා. ඒ වගේම මම හිතන දෙයක් තමයි මේ ක්ෂේත්‍රයට එන්න වාසනාව තියෙන්න ඕන කියන එක. ඉතින් මට ඒ ලැබුණ අවස්ථාව ගැන මම සතුටු වෙනවා.

  • ඔබ දක්ෂ කලාකරුවෙකුගෙ බිරිදක්. ඒ ගැන මොකද හිතන්නේ...

බුද්ධික සේමසිංහ කියන්නේ මේ වෙනකොට ජනප්‍රිය ටෙලිනාට්‍යය තිර පිටපත් රචකයෙක්. ඔහු මගේ සැමියා වීම ගැන මම සතුටු වෙනවා. ඔහු තමන්ගේ වෘත්තිය හරිම හොදට කරන කෙනෙක්. එයා කොච්චර පිටපත් ලීවත් මම බිරිද කියල මට ඒවගෙ අවස්ථාව දෙන්නෙ නැහැ. එයා හැම වෙලාවකම තමන්ගෙ නිර්මාණයට සාධාරණයක් වෙන විදිහ ගැන තමයි හිතන්නේ. ඇත්තටම මම ඒකට ගරැ කරනවා. බුද්ධිකගේ තිර රචනයන්ට මම සම්බන්ධ වුණත් මට ඒකට ආරාධනා ලැබෙන්නෙ අධ්‍යක්ෂකවරැන් හෝ නිෂ්පාදකවරැන් හරහා. බුද්ධික මට කියල චරිත ලියල නැහැ. මාව වුණත් චරිතයකට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂකවරැන්ට  කැමැත්ත ප්‍රකාශ කරන්නේ මම ඒ චරිතෙට ගැළපෙනව කියල ඔහුට හිතුනොත් විතරයි. මම නිසා චරිතයට අසාධාරණයක් වෙනවා නම් මාව වුණත් ගන්නෙ නැහැ. ඒ ගුණාංගය නිසාම තමයි ඔහුගේ පිටපත් මේ තරම් ජනප්‍රිය මට්ටමකට ඇවිත් තියෙන්නෙ කියල මම හිතනවා.

  • ඔහුගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

ඒක තමයි මගේ රංගන කටයුතුවල තියන ලොකුම දේ. මේ වෙනකොට මම එයා ලියපු පිටපත්වල වගේම වෙනත් පිටපත් රචකයන්ගේ නිර්මාණවලටත් සම්බන්ධ වෙලා තියනවා. හැබැයි මම ඒ හැම චරිතයකම ස්වභාවය, ඒක හැදෙන්න ඕන විදිහ වගේ දේවල් එයාගෙන් අහල දැනගෙන තමයි රෑගත කිරීම්වලට යන්නේ. ඒ වගේම තමයි මම රඟපාන අතරතුර මොනවාහරි චරිතයක් සම්බන්ධ‍යෙන් ගැටලුවක් ආවත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාගෙන් වගේම බුද්ධික ෆ්‍රී නම් එයාටත් කෝල් එකක් දීලා මොකක්ද දැන් මෙතනදි වෙන්න ඕනේ කියන දේ ගැන අහනවා. එයාගේ පිටපත්වල වගේම අනිත් අයගේ පිටපත්වලදිත් ඔහු මගේ චරිතවලට මේ සහයෝගය ලබා දෙනවා. ඉතින් මම එයාගෙන් ඒ උපදෙස් ගන්නවා. ඇත්තටම පොඩි කාලයක් ඇතුළත මේ වගේ චරිත කිහිපයකටම හොඳ සාධාරණයක් කරන්න පුළුවන් වුණේ ඔහු නිසාම තමයි.


දුලක්ෂි ලියනගේ