"ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" කියලා කිව්වෙ ඉස්සර. අද ඒ කියමන වෙනස් කිරීමට සමත් බහුවිධ දක්ෂතා තියෙන පුද්ගලයන් අපට හමුවෙනවා. මෙවර සඳැල්ලෙන් අපි සමඟ කතාබහට එකතු වෙන බුද්ධික පින්නදූවත් රංගනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය යන සියල්ලටම දස්කම් පාන්නෙක්. මේ කතාබහ ඒ ගැනයි.
- මුලින්ම ඇහුවොත් කවුද මේ බුද්ධික කියන්නේ ?
ගොඩක් අය මාව දන්නෙ පින්න Production මාධ්‍ය ජාලයේ ආරම්භයත් එක්ක. මම එහි සභාපති විදිහට කටයුතු කරනවා. ඒ වගේම රංගනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය යන ක්ෂේත්රවලත් නිරත වෙලා ඉන්නවා.
- රංගනයට පිවිසෙන්නේ කොහොම ද ?
මගේ තාත්තා දේව් පින්නදූව සටන් අධ්‍යක්ෂකවරයෙක් සහ රංගන ශිල්පියෙක්. තාත්තා හරහා යම් පිරිසක් හඳුනගන්න ලැබෙනවා. ඒ අනුව මට කලාවට එන්න ලැබෙන්නෙ ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න මහතාගේ හමුවීමත් එක්ක. එතුමාගේ "චරිත අටක්" කියන වේදිකා නාට්‍යයට මාව රංගන ශිල්පියෙක් ලෙස තමයි මුලින්ම සම්බන්ධ කර ගන්නෙ. ඉන්පසු මම එහි සහය නිෂ්පාදන කළමනාකරු විදිහටත් වැඩ කරනවා. ඊට පස්සෙ නැවතත් මගෙ තාත්තා හරහා කෝපි කඩේ නාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. පස්සෙ සිරස නාළිකාවෙ ලිලාන් රත්නායක මහතා මුණගැසීමත් එක්ක "රෙඩ් මයික්" වැඩසටහනටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.
මගේ පළවෙනි චිත්‍රපටය වෙන්නෙ "අන්තිම කැමැත්ත" ඒකෙ ප්‍රධාන රංගනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය කියන තුනම කළේ මම . ඉන්පසු මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගෙ අලි කතාවටත් සම්බන්ධ වුණා. මේ වෙන කොට රංගනයෙන් වේදිකා නාට්‍ය දෙකකට, චිත්‍රපට තුනකට සහ ටෙලි නාට්‍ය අටක් හෝ නවයක් , මියුසික් වීඩියෝ 20 ට වැඩිය සහ ටෙලි චිත්‍රපට හයකට වගේ දායක වෙලා තියෙනවා.
- පාසල් කාලෙත් කලා වැඩකටයුතුවල යොමු වුණා ද?
ඔව්. කලාවෙ මගේ මූලාරම්භය තමයි පාසල කියන්නේ. මම ඉගෙන ගත්තෙ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. පාසලේ වාණිජ දිනේට තිබ්බ නාට්‍යයක ප්‍රධාන චරිතෙ මට රඟපාන්න ලැබෙනවා. ඒක ගැහැනු චරිතයක්. මට රංගන හැකියාවක් තියෙනවා කියලා මුලින්ම දැනුණේ එදා.
- රංගනය ශිල්පියෙක් වගේම බුද්ධික කියන්නේ අධ්යක්ෂවරයෙක්. ඒ ගැනත් කිව්වොත්?
මම අවුරුදු හතරක් විල්සන් ගුණරත්න සර් ළඟ ඉගෙන ගත්තා, රංගනය, තිර පිටපත් රචනය, හඬ කැවීම්, නිවේදනය, ප්රවෘත්ති නිවේදනය, කැමරාකරණය, සංස්කරණය, වේෂ නිරූපණය කියන සියලුම දේ ඉගෙන ගත්තා. එතනින් පස්සෙ මට හිතුණා ඉගෙන ගත්තු දේවලින් ප්‍රයෝජනයක් අරන් ඉස්සරහට යන්න ඕනෙ කියලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මම පින්න production කියලා production හවුස් එකක් හදන්නෙ. දැනට මාත් එක්ක 120 ක් වගේ පිරිසක් වැඩ කරනවා. එතනින් තමයි මම අධ්‍යක්ෂකවරයා කියන භූමිකාවට යොමු වෙන්නෙ. මේ වෙන කොට මම මියුසික් වීඩියෝ 25 ට වඩා සංඛ්‍යාක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ටෙලි චිත්‍රපට 10 ක් විතර, රේඩියෝ ඩ්‍රාමා (ඒකාංගික කතාංග 215 ට එහා), කෙටි චිත්‍රපට 15 ක් විතර, ටෙලි නාට්‍ය දෙකක් සහ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒවගේම පින්න production මාධ්‍ය ජාලය හැදුණට පස්සෙ මම ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් විදිහටත් මේ වෙන කොට වැඩ කරනවා. තව වෛවරණ කියලා ඩිජිටල් සඟරාවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන ගමන් PINI වර්ණ කියලා මගේම මැගසින් එකකුත් කරගෙන යනවා. අධ්‍යක්ෂණය පැත්තෙන් කතා කළොත් ඒ විස්තර තමයි.
- මෙච්චර දුරක් එන්න සහය දුන් පිරිසක් ඇති?
මගේ අම්මයි , තාත්තයි , අයියයි, මල්ලියි මට හැමවෙලාවකම උපරිම සහයෝගය දෙනවා. විශේෂයෙන්ම මම කරන ඕනෙම නිර්මාණක් මම අම්මට පෙන්නනවා, මොකද අම්මට පෙන්නන්න පුළුවන් නිර්මාණ තමයි මම කරන්නෙ. ඒ වගේම විල්සන් ගුණරත්න සර් මට කියන්න බැරි තරම් සහයෝගයක් දෙනවා. ඒ වගේම ලිලාන් රත්නායක, ප්‍රභාත් දුෂ්‍යන්ත යන අයත් මට ලොකු සහයෝගයක් දෙනවා. සමහර වෙලාවට පිටින් ඉන්න අයගෙන් ලැබෙන දේ ළඟම ඉන්න අයගෙන් නොලැබෙන කොට පොඩි හිත් රිදීම් ඇති වෙනවා.
- මේ දවස්වල කලා කටයුතු කොහොම ද?
මේ දිනවල නම් "සූට් බූට් පූසා" කියලා ප්‍රවීණ නාට්‍යවේදී ජනප්‍රිය ජයසිංහ මහතාගේ ළමා වේදිකා නාට්‍යයට කැරමස් කියන චරිතෙන් සම්බන්ධ වෙනවා. අධ්‍යක්ෂණය පැත්තෙන් නම් පින්න මතක අඩවිය කියන රේඩියෝ ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් සහ ගීත දෙකක් ලියමින් ඉන්නවා. ඉදිරියේ දී ඓතිහාසික චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්නත් බලාගෙන ඉන්නවා.
- අධ්යක්ෂවරයෙක් විදිහට ඔබ හොඳ නිර්මාණයක් විදිහට දකින්නේ ?
අනුන්ගේ දෙයක් කොපි නොකර, තමන්ගේ නිර්මාණයක් හරියට, අලුත් විදිහකින් දෙනවා නම් ඒක හොඳ නිර්මාණයක්. ඒ වගේම ඒ නිර්මාණයේ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන දේ තියෙන්නත් ඕනෙ.
- ඔබ තිර රචකයෙක්, රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක්. වැඩිපුරම කැමති බුද්ධිකව කොයි විදිහට හඳුන්වනවට ද?
ඒ තුනටම මම කැමතියි. එකක් විශේෂ කරන්න අමාරුයි. හැබැයි දැන් මම වැඩිපුරම කරන්නෙ අධ්‍යක්ෂණය.
- සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නම් මොනවද දැන ගෙන ඉන්න ඕනේ?
අධ්යක්ෂවරයෙක් වෙන්න නම් අධ්‍යක්ෂණය විතරක් දැන ගෙන බැහැ. එයා සෙට් එකේ තියෙන හැම දේම දැන ගෙන ඉන්න ඕනැ. මොකද මම අවුරුදු හතරක් මහන්සි වෙලා ඒ සියලුම දේවල් ඉගෙන ගත්තා. අපි පොඩිම දේ ඉඳන් ඉගෙන ගෙන ආවෙ නැත්තම් මේක කරන්න අමාරුයි. හොඳ අධ්යක්ෂවරයෙක් වෙන්න හොඳ හැදෑරීමක් වගේම හොඳ ඇහැක් තියෙන්න ඕනැ. ඒවගේම නිහතමානී වෙන්නත් ඕනැ. ඒ ටික හදාගත්තොත් දක්ෂ අධ්යක්ෂවරයෙක් වෙන්න පුළුවන්.
- ඔබේ නිර්මාණවලට මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නෙ ?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ගොඩක් වෙලාවට සමාජෙ තියෙන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න පුළුවන් විදිහෙ නිර්මාණ තමයි කරන්නෙ. මෑතකදී මම ලිව්ව "ඉවසන් ඉදපන් අම්මා" කියන අමු සංකල්පයට අයිති සින්දුවත් එවැන නිර්මාණයක්. ඉතින් ඒවට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නෙ ඒවා තමයි ක්ෂේත්රයේ ඉදිරියට යන්න මට ලැබෙන සම්මාන.
කෞශල්‍යා ලක්ෂානි