ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ගීතය පද රචනය, හඬ සේම තනුව ද එහිදී එක සමාන කාර්යභාර්යක් ඉටු කරයි. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයන් නිසාම අපේ හිතේ ඉහළින්ම නැවතුණු ගීත රැසක් තිබේ. ඔහුගේ තනු නිර්මාණයකින් හැඩ වුණු ගීතයක් ගායනා නොකළ ගායකයෙකු ගායිකාවක නැති තරම්ය. එසේම ඔවුන්ගේ ගීත රැසක් අතරින් වඩාත් ජනප්‍රියව ඇත්තේ ද ඔහු තනු නිර්මාණය කළ ගීත වීම ද විශේෂත්වයකි.
‘මගේ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි.
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.
රත්න ශ්‍රී විජේසිංහයන් පද රචනා කළ, කරුණාරත්න දිවුල්ගනයන්ගේ හඬින් ගැයෙන මේ ගීය සුවහසක් පියවරුන්ගේ සේම දියණිවරුන්ගේ ද සිතේ කාවැදී රැදුණු ගීයකි.
රාත්‍රියේ සොඳුරු බව මඟින් ජීවිතය සිය දියණියට වටහා දෙන්නට පියෙකු දරන උත්සාහය මින් පිළිබිඹුව ඇත. කරුණාරත්න දිවුල්ගනයන් ගායනා කරන බොහොමයක් ගීතයන්ගේ තනු නිර්මාණය රෝහණ වීරසිංහයන් අතින් සිදුව ඇති අතර ඒ අතරින් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ‘පිවිතුරුය පළමු පෙම, මා ඔබත් එක්ක සුහද කතාවක්, රස පළ වැල නෙළා’ වැනි ගීත රැසක් තිබේ.
තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරුවන් රකින
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් ගැයෙන මෙම ගීතය සිය බිරිඳ කෙරෙහි ඇති ආදරය පෙන්වා දෙන්නකි.
රන් දෙවොලින් බැස එන දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකැළේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
ආදර හසුන චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතය අයිවෝ ඩෙනිස්, සුනිල් එදිරිසිංහ හා දමයන්ති ජයසූරිය එක්ව ගායනා කරන්නකි. අරිසෙන් අහුබුදුගේ ගීත රචනයෙන් හැඩ වූ ගීතය 1986 සිට මේ වෙන තෙක්ම යුගයෙන් යුගයට පැමිණි, අමතක නොවනා ගීතයකි.
සොඩින් නෙලුම් මල් ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
පෙරහරේ ගමනා කරන ඇතින්නියකුත්, පෙරහැරත් සිහිපත් කරවන මේ ගීතය අතුල අධිකාරි මුල් කාලේ ගායනා කළ ජනප්‍රියතම ගීත අතරින් එකකි. විසිරුණු මල් පෙති දෝතට ගත්, සඳ තරු මල් යන ගීත රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණවලින් හැඬ වූ අතුල අධිකාරි ගායනා කරනා ජනප්‍රියතම ගීත නිර්මාණයන් වේ.
ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති
ප්‍රේමයේ සැබෑව ගැන කියැවෙන, චන්දන ලියනාආරච්චි ගායනා කරන මේ ගීතය සේම, සඳ හාදු දිදී ගීතය ද බොහෝ සෙයින් ජනප්‍රිය වෙන්නට රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයන් හේතු වෙන්නට ඇත.
විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරනු ලබන බොහොමයක් ගීත නිර්මාණයන්ගේ තනු නිර්මාණය වී ඇත්තේ රෝහණ වීරසිංහයන් අතිනි. ඒ අතරින් සුනිල් ආර් ගමගේ ලියූ කවිය ඔබ, මහින්ද චන්ද්‍රසේකර ලියූ මාතොටින් එන, වසන්ත කුමාර කොබවක ලියූ පෙම්බර කුමාරණ වැනි ගීත රැසක්ම අතිශය ජනප්‍රියය.
බොරලු ඇනෙන පය රිදවන
වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් උදෙන් බලාගන්න
මහත්වරුනි, බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර ටිකක් බොන්න.
රුචිර පරණවිතාන රචිත මෙම ගීය කිසිවෙකුගේ මතකයෙන් නොමැකෙන අපූරු සුන්දර ගීතයකි.
අයියා කෙනෙකු, නැඟණියගේ විවාහ දිනයේ ගායනා කරන අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා ගීතය සුනිල් එදිරිසිංහයන් ගයනා ගීතයකි. සොහොයුරන්, සිය සොහොයුරිය වෙනුවෙන් විවාහ උත්සව වල ගායනා කරන්නට තරම් මේ ගීතය බොහෝ සංවේදී එකකි. එසේම බණ්ඩාර ඇහැලියගොඩ පද රචනා කළ
‘දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණු සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නඟන්නේ
සනුහරේ අබිමානයයි..’
පියවරුන් හඬවාලන ගීයකි. කුලගෙට යන දියණිවරුන් හඬවාලන ගීයකි.
‘මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ..’
රෝහණ වීරසිංහයන් ඔහුගේම තනු නිර්මාණයට ගායනා කරනා ගීතය විරහ වේදනාවෙන් රිදුම් ලබනා පෙම්වතුන් සංවේදී කරන්නකි.
මෙලෙසින් ඇසී මොහොතකින් අමතක වෙන ගීත නිර්මාණ අතර රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණ සහිත ගී නිර්මාණයන් රැසක් සදාතනිකව සිතේ රැඳී ඇති නිර්මාණයන් ය. සංගීතය ඇසුණු සැණින් ගීතය ද සිතට නැඟෙනා අන්දමේ අපූරුතම ගීතය.
පවනි උමයංගනා
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය. ඒ ඔහු ගුවන් විදුලියේ සරල ගීයක් ලෙස නිර්මාණය කළ රෝහණ සිරිවර්ධන ගායනා කරන "ඔබේ අත ගෙන පෙර සැඳෑවක" ගීතය හරහායි. ඔහු කළ තනු නිර්මාණ අතුරින් අතිශය ජනප්‍රිය වූ පළමු තනු නිර්මාණය එයයි.
එතැන් පටන් නිරංජලා සරෝජනී, නිර්මලා රණතුංග, මල්කාන්ති නන්දසිරි ඇතුළු ගුවන් විදුලි ගායක ගායිකාවන් රැසකට තනු නිර්මාණය කිරීමට රෝහණට අවස්ථාව ලැබුණි. ඒ රෝහණ වීරසිංහගේ තනු නිර්මාණයේ කුසුම විකසිත වූ අවදියයි. ඔහු මුල් තැන දුන්නේ ගීතය හදවතට දැනෙන අයුරින් තනු නිර්මාණය කිරීමටය. ඔහු විසින් නිර්මාණය කරන ගී තනු තුළ ඇත්තේ හදවත් වැලඳ ගැනීමේ ප්‍රාණයයි.
ඔහුගේ නිර්මාණවල රසය හඳුනාගත් නන්දා මාලනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි හැත්තෑව සහ අසූව දශකයේ මුල් සමයේ බිහිවූ ගායක ගායිකාවන් නිර්මාණයක් එළිදැක්වීමට ඔහු සොයා ආවේ ඒ ඒ කටහඬේ ගායන පරාසය සහ ගායන හැඩතල හඳුනාගෙන තනු නිර්මාණය කිරීමට රෝහණට තිබූ සංගීත අධ්‍යාපනය අබිබවා ගිය සංගීතමය පරිණත බව නිසාමය. ගීතයෙන් මතු කරන භාවය එක් එක් හඩට අනුව මතු කරන්නට රෝහණ රුසියෙකු විය. පණ්ඩිත් අමරදේව ගයන "ආරාධනා" නන්දා මාලනිය ගයන "සුළං කපොල්ලේ", සුනිල් එදිරිසිංහ ගේ "හදේ කොතැනක හෝ", ටී.එම් ජයරත්න ගයන "රාත්‍රිය උදාවෙලා", දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ", ප්‍රදීපා ධර්මදාස හා ලක්ෂ්මන් විජේසේකර ගයන "සුපෙම් හැඟුම් " වැනි ගීත මේ බව මානව පිළිබිඹු කරන සාක්ෂි කිහිපයක් පමණි.
දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, දයාන් විතාරණ, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, චන්දන ලියනාරච්චි ඇතුළු මෙකි නොකී ගායක ගායිකාවන් රැසකට තරු ලෙස බබලන්ට එළිය දුන් දිනිඳු ඔහු විය. "සුවඳ දැනී දැනී" ගීතය හරහා ඔහු රූකාන්ත ගුණතිලකගේ සංගීත ගමන් මග වෙනස් කළ අයුරු අදටත් සිංහල ගීතයේ සුවිශේෂ ඉතිහාස කතාවකි.
ශ්‍රි ලාංකීය සංගීත ක්ෂේත්රය තුළ තනු නිර්මාණයේ නොසිඳෙන උල්පතක් වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ ගී තනු නිර්මාණයන් දහස් ගණනින් ගායක ගායිකාවන් වෙනුවෙන් නිර්මාණය කොට ඒ තුළින් ගායන ලෝකයට පිවිස මෙරට රසික ආදරය වගේම අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ගායක ගායිකාවන් රැසකි.
රෝහණට
සහජ හැකියාවක් තියෙනවා
ප්‍රවීණ ගායන ශිල්පී
ටී.එම්. ජයරත්න
මට මුලින්ම රෝහණ වීරසිංහ මුණගැහෙන්නෙ ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ සංගීත වැඩ සටහන්වලදි සහ වාද්‍ය වෘන්දවලදී. ඒ කාලේ රෝහණ වීරසිංහ හොඳ ගිටාර් වාදකයෙක්. මම ගායකයෙක් වෙන්නට පෙර වයලීන් වාදකයෙක්. ඉතින් වාද්‍ය වෘන්දවල වැඩ කටයුතුවලදි අපි මුණගැහුණා. ඒ මුණගැහීම් එක්ක ටිකින් ටික මේ ක්ෂේත්රයේ වැඩ කරගෙන ගියා. නාට්‍යවල, චිත්‍රපටවල පසුබිම් සංගීතයන් එහෙම කළා.
ඉතින් එදා සිට අද දක්වාම මම ළඟින්ම ආශ්‍රය කරපු හිතවතෙක් තමයි රෝහණ . ඔහු කොහොමත් සැමවිටම ඉතාම සතුටින් සිනහමුසු මුහුණින් තමයි විහිළු තහළු කරගෙන ඉන්නෙ.
විශේෂයෙන්ම කියන්න ඕනෑ ඔහුට අපි ආදරය කළේ ඔහු තුළින් බිහිවුණු තනු නිර්මාණවලට. ගොඩක් දෙනෙක් ගායක ගායිකාවෝ පෙලඹුණු දෙයක් තමයි රෝහණ වීරසිංහයන් හොයාගෙන ගිහින් ඔහු ලවා තනු නිර්මාණයන් කරවා ගැනීම.
මොකද ඔහුට සහජ හැකියාවක් තිබුණෙ තනු නිර්මාණ කරන්න. තනු නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් හිටියත් රෝහණ වීරසිංහයන්ගේ ගී තනුවල තිබුණා අන් අයට වඩා සුවිශේෂී බවක්. ඔහු නිර්මාණය කරපු තනුවක් ක්ෂණයෙන් හොයාගන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ තනුවක් අහන පමාවට කියන්න පුළුවන්. ඊට හේතුව ඔහුගේ තනු නිර්මාණය කිරීමේ රටාව ඒතරම් සුවිශේෂයි. ඒ සුවිශේෂි බවට තමයි ගොඩක් දෙනෙක් ඇලුම් කළේ.
රෝහණ කියන්නෙ
තනු උල්පතක්
විශාරද නන්දා මාලනී
රෝහණ වීරසිංහ කියන්නෙ තනු උල්පතක්. කෙටිම වචනයෙන් ගත්තොත් ඔහු ගැන කියන්න තියෙන්නෙ එච්චරයි. රෝහණගේ ගී තනුවක් ගායනා නොකළ මේ රටේ සංගීත ශිල්පියෙක්, ශිල්පිනියක් නැති තරම්. මම ගත්තොත් මගේ ගීත ගොන්නෙ 75% තියෙන්නෙ රෝහණ වීරසිංහගෙ තනු නිර්මාණ. මම හිතන්නෙ ඒකට ඒක හේතුවක් තමයි ඔහු තනුවක් නිර්මාණය කරද්දී ගීතය ගායනා කරන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ පරාසය හොඳින් තෝරාගෙන තමයි ඒ නිර්මාණය කරන්නෙ.
ඔහුගෙන් එක තනුවක් හෝ නිර්මාණය කරගත් ගායක, ගායිකාවක් පවා අද ක්ෂේත්රයේ ජනප්‍රිය බවට පත්වෙලා තියෙනවා. නවකයින්ටත් බෙහෙවින් උපකාර කරනවා. නිර්මාණකරුවෙක් විදියට ඔහුගේ ඒ දක්ෂතාව වගේම මනුෂ්‍යයෙක් විදියට ගත්තම රෝහණ වීරසිංහ කියන්නෙ බොහොම සුන්දර, නිහතමානි පුද්ගලයෙක්.
මගේ සංගීත දිවිය ආලෝකමත් කළේ රෝහණයි
ප්‍රවීණ ගායන ශිල්පි
කරුණාරත්න දිවුල්ගනේ
"මගේ ගීත ගොඩ ඇතුළේ වැඩිපුරම ගී තනු රචනය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයා. අපි මුලින්ම මුණ ගැහෙන්නේ 1990 වර්ෂයේදි. එතුමා ඒ කාලේ වැඩ කළේ සිරිලංකා ආයතනයේ. ඒ වෙනකොට ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙමින් ඉන්න කාලේ . මම ගයපු ගීත දෙකක් තුනක් ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා. ඒ ගීත අහලා තමයි මට රෝහණ මහත්මයා කතා කළේ අපි කැසට් එකක් කරමුද කියලා. පස්සේ කුලරත්න ආරියවංශ මහත්තයායි රෝහණ මහත්තයායි එකතු වෙලා තමයි මගේ "ඇසට අසුවන මායිමේ" කැසට්පටය කළේ.
මගේ දුවේ , ප්‍රේමය මන්දහාසනි, කොණ්ඩ කිරිල්ලියේ , පිවිතුරුය පළමු පෙම , ගජමන් නෝනා වගේ එදා පටන් අද දක්වා මට එතුමා ගීත 40-50 කට වැඩිය ගීතනු නිර්මාණ කරලා තියෙනවා. රෝහණ වීරසිංහයන් කියන්නේ මගේ ජීවිතේට අති දැවැන්ත බලපෑමක් කළ කෙනෙක්.
මගේ සංගීත ජීවිතේ මුල්ම ගුරුවරයා වෙන්නේ ගුණදාස කපුගේ සූරින් එතුමාගේ වියෝවෙන් පස්සේ මගේ සංගීත ගමනට ලොකුම ශක්තිය වෙලා ආලෝකමත් කළේ රෝහණ වීරසිංහ මහත්මයා. “
රෝහණ නිසා 1994දී මගේ සංගීත දිවිය වෙනස් වුණා
ප්‍රවීණ ගායන ශිල්පි
රූකාන්ත ගුණතිලක
“ප්‍රවීණ ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගෝ මහත්මයාගේ බොරැල්ලේ තිබුණා ස්ටූඩියෝ එකක් මම දවසක් මර්වින් මහත්මයාගේ ස්ටූඩියෝ එකේ සින්දුවක් රෙකෝඩ් කරන වෙලාවක රෝහණ වීරසිහ මහත්මයා ආවා. ඒ තමයි එතුමාව දැකපු පළමු දවස. එදා කතා කරන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ දවසක සිරිලංකා ස්ටූඩියෝ එකේදි පටිගත කිරිමක් යන අතරතුර මට එතුමා එක්ක කතා කරන්න ලැබුණා.
ඊට පස්සේ 1981 නත්තලට ගී කියලා කැසට් එකක් කරා .ඒකේ ගීත සංගීතවත් කළේ රෝහණ මහත්මායි මමයි. ඒ ගීත ටික අතරින් රෝහණ මහත්තයා මට හැදුවා ගීතයක් "ගොපලු දරුවනේ ඇයි හිනැහෙන්නේ "කියලා. රෝහණ මහත්තයා තනු නිර්මාණය කළ ගීයක් විදිහට මම මුලින්ම ගැයුවේ ඒ ගීතය.
ඊට පස්සේ 1983 දි මුල් භාගයේදි මට දායක වෙන්න ලැබුණා චන්ද්‍රලේඛාගේ රෙකෝඩින් එකකට ‘සුදු රෝස’ කියන කැසට් එකේ . ඒ ගීත 12ම ගීත තනු නිර්මාණ කළේ රෝහණ වීරසිංහයන්. "මට මුළු ලොවම ඔබයි " ගීතය තිබුණෙත් ඒ ගීත 12 ඇතුළේ. මම එදා ඒ රෙකෝඩින් එකේදි චන්ද්‍රලේඛාගේ ගීතවල වාදකයෙක් ලෙස උපරිම සහයෝගය දුන්නා. ඊට පස්සේ රෝහණ මහත්මාගේ තවත් රෙකෝඩින් කිහිපයකටත් කීබෝඩ් වාදක ශිල්පියෙකු ලෙස දායක වෙන්න අවස්ථාව ලැබුණා.
රෝහණ මහත්මාගේ මම දැකපු ලස්සනම දේ තමයි ඔහුගේ සුහද ශීලිබව සහ කරුණාවන්ත කම, ඒ අතර තිබුණා හරිම අහිංසක විනෝදකාමි කමක්.
රෝහණ මහත්මයා නිසා මගේ සංගීත දිවිය වෙනස් වෙන්නේ 1994 දි. රෝහණ අයියා මට කලින් දවසේ කතා කරලා කිව්වා රුකා හෙට එන්න රෙකෝඩින් එකක් කියලා. එදා හොඳටම උණ , චන්ද්‍රලේකා මාව ඒ රෙකෝඩින් එකට අරගෙන ගියේ කොත්තමල්ලි පොව පොව. එදා උණ පිටින් ගැයුවේ ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ සප්ත කන්‍යා චිත්‍රපටයේ ගායනා කරපු සුවඳ දැනී ගීතය. ඒ ගීතය ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට වැළඳගත්තා. ඒක මගේ සංගීත දිවියේ ලොකු සංධිස්ථානයක්.
අදටත් මම ගයන්නෙ ඔහුගේ ගීතප්රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා
1983 අවුරුද්දේ දි රෝහණ අයියාව මට මුලින්ම මුණ ගැහෙන්නේ ගීත 12කුත් එක්ක. ඒ තමයි මගේ "මට මුළු ලොවම ඔබයි" කැසට් එකේ ගීත 12 එක්ක. මාර ලස්සනම ගීත 12ක්. අදටත් මම ගායනා කරන්නේ ඒ ගීත. ඒ වගේ තමයි රසිකයෝ ඉල්ලන්නෙත් ඒ ගීතමයි.
ඊට පස්සේ මට රේඛා ටෙලිනාට්‍යයේ දිත් රෝහණ අයියා එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ටෙලි නාට්‍යයෙත් ගීත 12ක් තිබුණා එහිත් සංගීත අධ්‍යක්ෂණය කරේ රෝහණ අයියා. එහි මම ප්‍රධාන චරිතයෙන් රංගනයට දායක වුණත් ටෙලි නාට්‍යයේ ගීත 12ත් ගායනා කිරීමේ වාසනාවත් මටම තමයි ලැබුණේ. ඩී. බී. නිහාල්සිංහ මහත්මයා රෝහණ අයියාට රේඛා ටෙලිනාට්‍යයේ රඟපාන්නත් ආරාධනා කළා. නමුත් රෝහණ අයියා රඟපාන්න කැමති වුණේ නැහැ.
ඒ විදිහට රෝහණ අයියා මගේ ජීවිතේ වෙනස් කරපු ගීත බොහොමයක් තියෙනවා. වනසිවුපාවුන්, ගතින් ඉන්නට නැතත් ළං වී, නීලනුවන් යුග, මනලෝලි මනමාලියේ, ඔබ දෙපා දොවා වගේ රෝහණ අයියා අතින් මට ගීත ගොඩාක් සංගීතවත් වුණා. මං හිතන්නේ රෝහණ අයියා අතින් සංගීතවත් වූ ගීත අතුරින් ලස්සනම ගීත ටික තියෙන්නේ මට කියලා.
ඒ විදිහට මගේ ගායන ජීවිතෙත් රෝහණ අයියා නිසා සිදු වෙච්ච සංධිස්ථාන ගොඩාක් තියෙනවා. රෝහණ අයියා කියන්නේ ගී උල්පතක්.
ඒ උල්පත නොසිඳේවා තවත් චිරාත් කාලයක් වැජඹෙන්නට තවතවත් ලස්සන ගී තනු ලංකාවේ රසිකයන්ට ලබාදෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.
මගේ සංගීත දිවිය වෙනස්කළ යුග පුරුෂයෙක් ප්‍රවීණ ගායන ශිල්පි චන්දන ලියනආරච්චි
මගේ ගායන ජීවිතේ සිහින ටිකක් තිබුණා. 1999 දි ඒ එක හිනයක් සැබෑ වුණා. ඒ තමයි ලියතඹරා මල ගී එකතුව වෙනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණ දායකත්වය ලබාගැනීමට හැකිවීම. අනෙත් එක තමයි මට ඒ නිර්මාණ ගැයීමට ලැබීම.ඒක මගේ ගායන දිවියේ මා ලද භාග්‍යක්.
රත්නශ්‍රි විජේසිංහ මහත්මා ලිවූ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ සුවඳ තියා මා ළඟ ගීතයත්, යමුනා මාලනිය ලිවූ ප්‍රේමය ලොව හැම තැනම ඇති ගීතයත්, ලලිත් වසන්ත මහත්මා ලිවූ සසල වුණත් සිත නම් වූ ගීතයත් යන ගීත රෝහණයන් අතින් සංගීත නිර්මාණය කර ලියතඹරා මල කියන ගීත එකතුවට එක් කරන්නට ලැබෙන්නේ ගායන ශිල්පිණයකු ලෙස මගේ තවත් සිහිනයක් සැබෑ කරමින් වගේම මගේ ගායන දිවිය සුවිශාල ආලෝකයක් එක්රමින්.
විශේෂයෙන් ඒ කාලේ සුවඳ තියා මා ළග ගීතය අතිශය ජනප්‍රිය වුණා. ලංකාවේ රසික ප්‍රජාව මාව අඳුරගත්තේ ඒ ගීතයෙන් පස්සේ.
මගේ දෙවන ගීත එකතුව වුණ කඩුපුල් මල ගීත එකතුව වෙනුවෙන් නිර්මාණය වු යමුනා මාලනි පෙරේරා මහත්මිය ලිවූ සුවඳ මට දී කියන ගීතයත්, රත්නශ්‍රි විජේසිංහයන් සඳ හාදු දිදි ගීතයත් මගේ ගමන් මගට තවත් වටිනාකම් එකතු කළ ගීතයන් බවට පත් වුණා.
ගී තනුවල රසවත් බව නිසාම අදටත් රසික ප්‍රජාව ඒ ගීත වලට දක්වන්නේ විශාල කැමැත්තක්. ඒ විදිහට ඔහු විසින් මධුර ගි තනු 50 කට අධික සංඛ්‍යාවක් මා හට නිර්මාණය කරලා තියෙනවා. ආදරණීය රෝහණ ඔබ මගේ සංගීත දිවිය වෙනස් කළ යුග පුරුෂයෙක්. ඔබට චිරං ජයතු.
ධනු විජේරත්න
නදීශා අතුකෝරළ