පාරදිගේ නානාගේ පොඩිදුව ලෙසින් පුංචි තිරයට පා තැබූ ඇය - දැන් දෙවනි ඉනිමේ සමාධිය. කුඩා කළ පටන්ම ටෙලිතිරයේ බබළන තරැවක් වීමට හීන දැක්ක ඇය දැන්
ඒ හීන හැබෑ කරගනිමින් රටක් හඳුනන චරිතයක් වී සිටියි. ඇය නමින්
තත්සරණි පියුමිකාය.
මෙවර සඳැල්ල ඈ සමග කළ සොඳුරැ කතාබහයි මේ......
- තත්සරණි මේ දිනවල පුංචි තිරයේ නිතර දකින්න ලැබෙනවා. ඉතින් කොහොමද ඒ කලා කටයුතු.....
මේ දවස්වල මම රංගනයෙන් දායකවන දෙරණ නාලිකාවේ දෙවැනි ඉනිම සීසන් 2 සහ ස්වාධීන රූපවාහිනියේ ජානු කියන මෙගා ටෙලි නාට්‍ය දෙක විකාශනය වෙනවා. ඒ රෑගත කිරීම් එක්ක තමයි මේ දිනවල කාලය ගත වෙන්නේ.
- වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නෙ සමාධිටද..... ශාක්‍යාට......ද?
කාලයත් එක්ක ඒ ප්‍රතිචාර වෙනස් වෙනවා. වර්තමාන තත්ත්වයට අනුවනම් මිනිස්සු වැඩිපුරම ආදරේ දෙවනි ඉනිම සමාධි කියන චරිතයට. මුලදි ඒ කියන්නෙ ජානු පටන් ගත්ත මුල් කාලෙ ශාක්‍යාටත් ගොඩක් ලොකු ආදරයක් ලැබුණා. හැබැයි තවමත් චරිත දෙකටම ආදරය කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ඒ චරිත දෙකට දෙවිදිහකට තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. කොහොම වුණත් ඒ ආදරේ හරි අපූරැවට මම විඳිනවා. මමත් ඒ ආදරේට හරිම ආදරෙයි.
- තත්සරණි චරිත තෝර ගනිද්දි මොනවගේ දේවල් ගැනද අවධානය යොමු කරන්නේ...
ඇත්තටම මම මේ වෙනකොට ගොඩක් චරිත කරල නැති වුණත්, මම කැමති එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා. ඒකාකාරී චරිතවල කොටු නොවී විවිධ චරිත කරන්න ආසයි. එතනදි චරිතෙ ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. චරිතෙ ඇතුළෙ දෙයක් කරන්න තියනව නම් මම ඒක භාරගන්නවා.
- රංගනය හීනයක්ද? කොහොමද ඒ හීනෙ සැබෑවක් කරගත්තේ?
ඔව්. චූටිකාලෙ ඉඳන් තිබුණ හීනයක්. අට වසරෙදි වගේ තමයි ඒ බලාපොරොත්තුව ආවේ. හැබැයි ඒ හීනෙ හැබෑවුණේ අවුරුදු කුමරිය තරගයකින් පස්සේ. ඒ මම 2021 අවුරුද්දේ ITN අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට තේරීමත් සමගයි. එතනින් පස්සෙ චාමර සමරවික්‍රම අයිය මට ආරාධනා කරනවා පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා. ඒ විදිහට තමයි මේ හීනෙ සැබෑ වෙන්නේ. ඒ ආරම්භයෙන් පස්සෙ මම මේ වෙනකොට ටෙලි නාට්‍ය කිහිපයකම වැඩකටයුතු කරල තියෙනවා.
- ඔබ දැන් වෘත්තීමය රංගන ශිල්පිනියක් ද?
ඔව්.
- ඒ ගැන සතුටින්ද?
ඔව්. ඇත්තටම පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධවෙන කොටත් ඒ කියන්නෙ 2022 දි විතර මම වෙනත් වෘත්තියක නියැළෙමින් තමයි හිටියේ. හැබැයි මේ රංගන කටයුතු කරගෙන යනකොට මට හිතුණ මගේ සතුට තියෙන්නෙ රංගනය තුළ කියලා. මේ ක්ෂේත්රයේ මම කරන්න ආස චරිත කරනකොට, මේක පොඩිකාලෙ ඉඳන්ම තිබුණ හීනයක් වෙනකොට, මට හිතුණා සල්ලි වලට වඩා මට ඒ ලැබෙන සතුට වටිනව කියලා. ඒ නිසා මම ඒක තෝර ගත්තා.
- ඔබ මේ දිනවල පුංචි තිරයේ නම් හොඳ පෙම්වතියක්. ඇත්ත ජීවිතෙත් එහෙම ද?
ඇත්ත ජීවිතේ එක එක විදිහේ පෙම්වතියක්. ඒ කියන්නෙ සහෝදරියක් විදිහට, අම්මා තාත්තට දුවක් විදිහට, යාළුවන්ට හොඳ යාළුවෙක් විදිහට ආදරේ කරනවා සහ ආදරේ ලබනවා.
- එතකොට පෙම්වතෙක් නැහැ?
මම ඒ ගැන සඳහන් නොකර ඉන්නම් නේද...
- තත්සරණි ආදරේ දකින්නෙ කොයි විදිහටද?
ආදරේ කියන්නෙ තමන්ට තමන් වෙලා ඉන්න පුළුවන් තැන.කොන්දේසි විරහිත ආදරේ තමයි මම විශ්වාස කරන්නේ.
- ආයෙත් අපි රංගනය පැත්තට ගියොත්, තත්සරණිව රිදී තිරයෙන් දකින්නෙ කවදද?
ඉක්මණින්ම දකින්න ලැබෙයි. මේ වෙනකොට මගේ පළමු චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරල තියෙන්නේ. හඬ කැවීම් එහෙමත් අවසන්. ඒක එනකන් තමයි බලන් ඉන්නේ. මට ඒකට සම්බන්ධ වෙන්න ලැබුණේ පාරදිගේ ටෙලිනාට්‍ය නිසා. ඒ ටෙලිනාට්‍ය බලලා සුනිල් ප්‍රේමරත්න සර් තමයි මට ආරාධනා කළේ. චිත්‍රපටය හාස්‍ය චිත්‍රපට ගණයට වැටෙන එකක්. මම කොමඩි කැරැක්ටර් එකක් නෙවෙයි කරන්නේ. නමුත් මේ චිත්‍රපටය තුළින් මට ක්ෂේත්රයේ ප්‍රවීණයන් බොහෝමයක් සමග වැඩ කරන්න අවස්ථාව හිමි වුණා. ඒක ලස්සන නිර්මාණයක්. ඉතින් ඉදිරියේදි බලන්න පුළුවන් වෙයි. ඒ හැර දැනටනම් වෙනත් නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ.
- ගෙදරින් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොයි වගේ ද කියලත් කියමු?
මගේ පවුලෙ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. ක්ෂේත්රයට එන්න කළින් නම් තාත්තගෙ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි දැන් වැඩ ටිකක් කරගෙන එයාලගෙ විශ්වාසය තියාගෙන යන නිසා රංගනයට අවස්ථාව දීල තියෙනවා. ඉතින් දැන් ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා මගේ මේ ගමනට.
- කලාවට අමතරව විවේකයක් ලැබුණම මොකද කරන්නේ?
විවේකයක් ලැබුණු වෙලාවට සිංදු අහනවා, ෆිල්ම් බලනවා, පොත් කියවනවා, වගේ දේවල් තමයි කරන්නේ. ඒ වගේම කලා ක්ෂේත්රයට අදාළ දේවල් හොයල බලල ඉගෙන ගන්න එකත් දැන් කරනවා.
- කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නමද බලාපොරොත්තුව?
ඔව්. අනිවාර්යයෙන්ම. කලා ක්ෂේත්රයෙන් ඉදිරියටම යන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මම දැනට මනෝ විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් කරගෙන යනවා. ඒ දේවලුත් නිවැරදිව කරගන්න අතරතුර, කලාවේ විවිධ දේවල් කරමින් හොඳම කියන කාණ්ඩයට එන්න පුළුවන් වෙනකන් මහන්සිවෙලා වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
දුලක්ෂි ලියනගේ