‘‘සුදු මල් පොකුරක් අතින් දරා
ඔබේ සොහොන ළඟ තනිවී...
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි’’
මේ ගීතය ඔබ සියදහස් වාරයක් අසා දැක ඇති. සුදු මල් පොකුරක් අතැතිව පියාණන්ගේ සොහොන අසල වැලපෙන මෙම රුව හා හඬ කලකට ඉහතදී අකාලයේ අපෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්රියන්තගේයි.
ශිරෝනි ප්‍රියංකා
|
රුසිත් තරුෂ
|
“සමුදෙන්න සමුගන්න නම්, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා, සුළඟට හාදු තියන්න, මල් රේණු වෑහෙන, පඬුපුල් සුවඳ අරගෙන, මහද ප්‍රේමාදරේ” වැනි සදාඅමරණීය ගීත සමුච්චයක අයිතිකරුයි ඔහු.
ප්රින්ස්ගෙන් පස්සේ ඒ රසබර ගීත ගඟුල කාලයේ බලපෑමෙන් සිඳී යතැයි අප සිතුවා. එය මුසාවක් බවට පත් කරමින් ඔහුගේ ගීත වැලට නව පණක් දෙමින් නව පරපුර නියෝජනය කරමින් ගයන අම්මෙකුයි පුතෙකුයි ගැනයි මෙවර සඳැල්ල කතාබහ.
ඇය ප්රින්ස්ගේම නැඟණිය ශිරෝනි ප්‍රියංකා ප්‍රනාන්දු සහ ඇගේ පුත් රුසිත් තරුෂ සත්සර යෞවනයා තමයි එය සද්කාර්යය කරන්නේ. එපමණක් නොවෙයි ඔවුන්ගේම ස්ව නිර්මාණ පෙළකුත් නව වසරේ දොරට වඩින්නට නියමිතයි.
- ශිරෝනි කියන්නකො ඔයාගේ පරපුරේ තොරතුරු
ගාල්ලෙ නවදගල සිරිපුර කියන සුන්දර ගමේ තමයි මායි අයියා වන ප්‍රින්ස් උදය ප්‍රියන්තයි ඉපදුණේ. අපේ තාත්තා ගුවන් විදුලියේ සංගීත උපදේශකවරයකු මෙන්ම එම වාදක මණ්ඩලයේ නිත්‍ය වයලින් වාදක ලෙස කටයුතු කළ එච්. ඊ. ප්‍රනාන්දු එයා වඩාත් ජනප්‍රිය වුණේ ‘ඊටින් මාස්ටර්’ නමින්.
තාත්තගෙ පරම්පරාෙවම හිටියෙ නුර්ති, නාඩගම් හා කෝලම් කලාවෙහි නියැළුණ අය. අපෙ අම්මා ආර්. පී. ගුරුගේත් සංගීතය මනාව හදාරපු කෙනෙක් වගේම විදුහල්පතිනියක්.
- එහෙනම් ඒ කාලෙ ගෙදරම සංගීතයෙන් පිරිලා තියෙන්න ඇති.
අපොයි ඔව්. තාත්තා පුංචි කාලේ ඉඳන්ම අපිට අනිවාර්යයෙන් සංගීත කලාව ප්‍රගුණ කළා. අපට අවුරුදු දෙක තුනක් වෙද්දි දිනපතා රෑට පැයක් පමණ මැද සාලේ පැදුරක් එළාගෙන වයලින් වාදනය පුරුදු කෙරෙව්වා. අවුරුදු 10-12 වෙනකොට වයලීනයෙන් රාග 15ක් පමණ මට හොඳින් වාදනයට පුළුවන් වුණා.
- පාසල තුළ සංගීතයෙන් හපන්කම් පාන්නට එය පෙරහුරුවක් වෙන්න ඇති.
ඇත්තෙන්ම ඔව්. ගා/ යටගල කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් අම්බලන්තොට ධර්මාශෝක විදුහලෙන් උසස් අධ්‍යාපනයත් ලැබූ කාලේ සමස්ත ලංකා මට්ටමෙන් ගී ගයා වයා අප ජය ලැබුවා.
තාත්තගෙන් සංගිතය හැදැරූ ජවය අපට ස්වාධීන නැගී ඉන්න ආශීර්වාදයක් වුණා. තාත්තා 1989 දී නැතිවුණා. ඉන් පස්සෙ මගේ සොහොයුරා බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේ දී විශාරද නිහාල් ගම්හේවා යටතෙත් සංගීතය හැදෑරුවා. මගේත් පසුකාලීන ගුරුවරයා වූයේ එතුමයි.
- කොහොමද විවෘත වේදිකාව හඳුනාගත්තෙ?
අයියයි නංගිගෙයි සංගීත හැකියාවන් සමකාලින බොහෝ දෙනා හඳුනාගෙනයි තිබුණේ. අයියා තමයි මාව නිසි තැන්වලට යොමු කළේ. ඉස්කෝලෙ කාලෙම ප්‍රවීණ ගායක ශිල්පි රෝයි පිරිස් විසින් මෙහෙයවූ සංගීත කණ්ඩායමකට අපව එක්කර ගත්තා.
අයියා ඒකෙ ඕගන් වාදකයා ලෙස තෝරා ගත්තා. එදාම මාවත් ගායිකාවක ලෙස බඳවාගත්තා. ප්‍රවීණ ගායක විජය බණ්ඩාර වැලිතුඩුව නිර්මාණය කළ සංගීතයට ගීත හතරක් මා ගැයුවා. ඒත්.....
- ඇයි නැවතුණේ?
මගේ වෘත්තීය ගායන සිහිනය අතරමගදි බොඳවුණේ හදිසි විවාහය නිසා. එය සංවේදී කතාවක්. දිගු කලක් සිතෙන් හඬමින් කලා නිර්මාණ රස විඳිමින් කාලය කා දැම්මා.
නමුත් අයියාගේ තදබල ඉල්ලීම නිසා යළි වේදිකාවට ආවා. නිහාල් ගම්හේවා සහ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් නිර්මාණය කළ ගීත හතරක් ගැයුවා. අයියා සහ මා ගැයූ යුග ගී නිර්මාණය වන ‘‘වීණාවේ තත් දෙකයි වෙන් කරන්න බැරි ’’මැයෙන් සහෝදර ප්‍රේමය විදහාපාන අපූරු ගීයක් සහ යුග ගියක් යූටියුබ්වල පවා ජනප්‍රිය වුණා.
මම කතාබහ අතර ඊට සවන් දුන්නා. ‘‘විණාවේ තත් දෙකයි වෙන් කරන්න බැරි සී පදයෙන් පද දෙකයි ආදරයෙන් බැඳි
- මෙතරම් ළඟින් විසූ අම්මා සහ සොහොයුරා ඔබට අහිමි වුණා නේද?
සංගීත ජීවිතය මුවහත් වෙමින් තිබූ කාලයක 2014 දී අම්මා මගෙන් සමුගත්තා. ඒ වගේම සහකම්පනයක් හද තුළ රඳවමින් මගේ අත්වැල වූ අයියා නොසිතූ අයුරින් 2017 ජුනි 08 වෙනිදා හරියටම 46 වසරේදී දෑස පියාගත්තා.
එයා දිගු කලක් සයිනසයිටිස් රෝගයෙන් පෙළුණා. එහි ආසාදනය මොළය දක්වා පැතිරිලා එන්සෙපලටයිටිස් තත්ත්වය ඇවිත්. එවිට මොළය ක්‍රමවත්ව මියයනවා. එය වළක්වන්න මිල අධික එන්නත්, බේත් අමාරුවෙන් සපයාගත්තා. එක බෙහෙත් පන්තියට ලක්ෂ 25ක් බැගින් වැයවුණා. දේපළ සියල්ල විකුණා දමන්ට සිදුවුණා. රසික රසිකාවියන්ගේ මහත් ඇප උපකාරය අප සඳහා නිරතුරුව ලැබුණා. ඒත් මාරයා ඒ සියල්ල ගිලගත්තා. අපේ මහගෙදර ඔප්පුව පවා අමානුෂිකව සින්න වුණා.
- ඉන්පසු ඔබගේ ඉදිරි මග අවුරුණා ද?
අයියාගේ අභාවයෙන් පස්සේ රසිකයන්ගෙන් මට දිගින් දිගටම ඇරයුම් ලැබුණා මගේ ගීතවලට. එමෙන්ම ඔවුන් තදින් ඉල්ලා හිටියේ අයියාගේ ගීතයි. අයියාගේ වියෝව වෙනුවෙන් ගම්හේවා මහතා විසින් මා ගැයූ ‘‘සසරේ මාව තනිකළා.’’ නව ගීය ජනගත කළා. මාත් දැන් ගීත රචිකාවක්.
ඒ විතරක් නොවෙයි. හෙදියක් ලෙස මා කරමින් සිටි සේවය අයියාගේ ව්‍යාපාර කළමනා කටයුතු වෙනුවෙන් කැප කිරීමට සිදුවුණා. රජයේ සංගීත ගුරුවරියක ලෙස ඇරඹූ රැකියාවත් අයියාගේ අසනීපය නිසා අතැර දමා ඔහුට සාත්තු කිරීම ප්‍රධාන අරමුණ කර ගත්තා.
හැබැයි අයියා මියගියත් මාව සංගීත ලෝකයේ තනි කළේ නැහැ. අයියාගේ හඬයි රුවයි කැපවීමයි එලෙසම පිහිටා තිබෙන වටින සම්පතක් මට උරුම වුණා. ඒ මගේ පුත් රුසිත් තරුෂ සත්සර.
රුසිත්ගේ රුව හා හඬ බොහෝ දුරට ප්‍රින්ස්ගේ රිද්මයට හා හඬට සමානයි. ඔහු ප්‍රින්ස්ගේ පුතා යැයි රැවටෙන අවස්ථා බොහොමයි.
‘‘මමත් මුලින් රැවටුණා’’ මම කිව්වා. රුසිත් සමාජ මාධ්‍යවල බොහොම ජනප්‍රිය නැගී එන තරුවක් මං ඊළඟට හැරුණේ රුසිත් දෙසටයි.
මහගම සේකරයන්ගේ එකම සිනමා කෘතිය වන තුංමංහන්දිය මට මතක් වුණා. එහි එන කුසලතා පූර්ණ ගැමි කලාකරුවකු වන අබිලිං මාමා අවිවාහක චරිතයක්. එයාගේ කලා කුසලතා හරියට තේරුම් අරන් හැදෑරුවේ එයාගේ සහෝදරයගෙ පුතා විතරයි. තමන්ගේ පුතාට වගේ හැම දෙයක්ම අබිලිං මාමා පුතාට ඉගැන්නුවා. එහි එන ගීතයේ තියෙනවා. ‘‘ඔබේ ඇසිනි මා දුටුවේ’’ කියලා වදන් පෙළක් අබිලිං මියගියාට පසු පුතා හදවතින්ම ඔහු ගැන වැලපෙන්නේ පසුබිමේ එම ගීතය අසද්දියි. මෙය සංවේදි දසුනක්.
ශිරෝනි ඇගේ හඩ අවදි කළා. ‘ඇත්තෙන්ම මගේ අයියත් එවැනි අවිවාහකව සිටි සංවේදී කුසලතා පිරුණු චරිතයක්. එයා සතු මුළු කලා කෞශල්යම මගේ පුතා වෙනුවෙන් නිර්ලෝබිව දුන්නා කියලා මට හිතෙනවා. බොහෝ අය රැවටෙනවා එයාගෙම දරුවෙක්ය කියලා.’
ප්‍රින්ස් අයියා පුතාගේ අධ්‍යාපනය හා සියලු වියදම් බාරගත්තා. එයා වැඩිපුරම දැවටුණේ පුතා එක්ක පුදුම සෙනෙහසක් තමා ඒක.
‘‘මගේ පුතා....’’ කියා මිස නංගිගෙ පුතා කියාල එයාව හැඳින්නුවෙ නැහැ.’’ ශිරෝනිගේ දෑස තෙත් වුණා.
‘‘මාමා අවුරුදු තුනේ ඉඳන්ම මට සංගීතය උගන්වන්න කැපවුණා. වයලීනය හා කීබොඩ් වාදනය තමයි ගායනය සමග ප්‍රගුණ කළේ. මට අවුරුදු හතරෙ ඉඳන්ම රූපවාහිනී වැඩසටහන්වලට යොමු කළා. වයලිනය වාදනයත් කළා. රුසිත් පවසනවා.
මං ඇල්පිටිය ආනන්ද ප්‍රාථමික විදුහලෙන් පහේ විභාගය ඉහළින්ම පාස්වෙලා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ හැදැරුවා. ඒ කාලේ තමයි මාමා තදබල ලෙස අසනීප වුණේ. මාමා නැතුව මොන ඉගෙනීමක්ද කියලා මට හිතුණා. එ්ක නිසා මම පාසල් ගමනෙන් සමු අරන් මාමා ළඟ නතර වෙලා එයාට උපකාර කළා, අම්මත් එක්ක.
‘‘මගේ පුතා මං ගැන හිතලා ඉගෙනීම කඩාගන්න එපා. ඉක්මනින්ම ඉස්කෝලෙට යන්න පටන් ගන්න. ඔයා කැම්පස් ගිහින් සංගීතය හදාරන එකයි මගේ පැතුම’’ මාමා කිව්වා.
ඒත් මාමා මාවත් අම්මාත් අත්හැර යන තුරුම මං කැම්පස් ගියේ නෑ. ඊට පස්සේ මාමාගෙ ඉල්ලීමට ගරු කරල ආයෙත් ඉගෙන ගත්ත.
ඉතින් මගේ පුතා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ඉතා ඉහළින් පස්වෙලා අද වෙද්දි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ සිව්වන වසරෙ රසායන විද්‍යා ගෞරව උපාධිය හදරනවා. අනාගත විද්‍යාඥයෙක් වෙලා රටට සේවය කරන තුරු අයියා බලාගෙන ඇති. ශිරෝනි කිව්වේ හැඟුම්බරව.
යොවුන් ගායකයකු ලෙස සංදර්ශන වේදිකාවේ සහ රූපවාහිනී වැඩසටහන් ප්‍රණීතවත් කරන රුසිත් නව නිර්මාණ රැසකට මවත් සමඟ පුහුණුවෙනවා.
‘‘ප්‍රින්ස් මාමගෙ ජනප්‍රියම ගීත ඒ හඬින්ම අපෙන් ගැයෙනවා කියලා මටත් දැනෙනවා.
ළඟදි ‘‘වෙරළ කොනක ඉඳ බලා හිඳිමි’’ ගීය ලස්සනට පුතා ගයනු ඇසුණා.
මාමාගේ කුසලතා මෙන්ම අම්මා සහ මගේ හැකියාවන් සැමටම බෙදාදෙන්න ආසයි. එය තමා මාමා වෙනුවෙන් කළ හැකි එම පින්කම ඉතින් 0760026110 හෝ 0766177213 අප අමතන ලෙස ඉල්ලා සිටිනවා.
අයියා වගේ 90 දශකයේ සංගීත ලොවට පිවිසුණු ශිල්පින්ගේ නිර්මාණ අගේට ගයන පරපුරක් බිහිවීම සතුටට කරුණක්. අයියාගේ ප්‍රාර්ථනයත් අලුත් රසවිඳින්න පුළුවන් පරපුරක් බිහිකිරිමයි. ශිරෝනි අප සමුගනිද්දී කිව්වා.
‘‘මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවඳ දී
සෙනෙහෙසින් ඔබ නිසා
මා සැනසුනා එදා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා............
රුසිත්ගේ වේදනාවන් නිවී ශිරෝනිගේ ද පැතුම් ඉටුවේවායි සඳැල්ල වෙනුවෙන් පතමු.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි