පිනි රාණි - ගයත්‍රි ඩයස්



ගයාත්‍රි ඩයස් වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ නම රැන්දූ  රංගන ශිල්පිනියක් පමණක් නොවේ. ඇය රූ රැජිනකි. වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකි. රූපලාවණ්‍ය ශිල්පිනියකි. උදාර ගීතය  නම් වූ අලුත් අවුරුදු ටෙලි නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ටෙලි නාට්‍ය පනහක පමණ ද, චිත්‍රපටි විස්සකට ආසන්න සංඛ්‍යාවක ද රඟ පා තිබේ.

“රඟ පෑව හැම චරිතයකටම මම කැමතියි.. ඒ වගේම ඒවා කවදාවත් අමතක වෙන්නෙත් නෑ.. ඒත් දැන් අවුරුදු කීපයකට ඉස්සර ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණ පිනි ටෙලි නාට්‍යයෙ රාණි චරිතයට මම හුඟක් කැමතියි..”

ටෙලි මතක වෙනුවෙන් සංවාදයට එක් වෙමින් ගයාත්‍රි ඩයස් පැවසුවාය.

පිනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ලද්දේ ශාන්ත සොයිසාය. එය මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයකි.

“ඊට ඉස්සර වෙලත් ශාන්ත සොයිසගෙ පබලු, ජීවිතේ ඇති තුරා ටෙලි නාට්‍යවල මම රඟ පෑවා.. ඒ ටෙලි නාට්‍යවලත් මට ලැබුණෙ වෙනස්ම ආකාරයේ චරිත...” ඇය කීවාය.

පිනි මුහුදුකරයේ පැල්පත් වත්තක් පසුබිම් කරගෙන නිර්මාණය වූ කතාන්දරයකි. දෙහිවල රේල් පාර ආසන්නයේ ඇති එවන් වත්තක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා යොදා ගනු ලැබිණි.

“මම රඟ පෑව චරිතයේ නම රාණි.. කට සැර ගෑනියෙකුගෙ චරිතයක්.. සැමියා හිරේ ගිහින්.. දුවත් එක්ක තමයි පැල්පත් නිවසේ ජීවත් වෙන්නෙ.. සම්පතා කියන මනුස්සයා නිතරම ගෙදරට යනවා එනවා.. රාණිගෙයි සම්පතාගෙයි සම්බන්ධයක් තිබ්බත් ඇය ලෝකයට අඟවන්නෙ තමන් පත්තිනි අම්මා වගේ පිවිතුරු කෙනෙක් බවයි.. ඉතින් දුව ඇනුම් පද කියනවා.. ඇත්තටම මම මේක හරිම ආසාවෙන් රඟ පෑව චරිතයක්..” රාණි චරිතය විස්තර කරමින් ගයාත්‍රි පැවසුවාය.

“ඒ වගේ චරිතෙකට හැඩ ගැහෙන එක අමාරු වුණේ නැද්ද..?” මම ඇසීමි.

“නෑ.. චරිතයක් ලැබුණම මම ඒ ගැන අධ්‍යයනය කරනවා.. ඊට පස්සෙ හැඩ ගැහෙන එක අමාරු දෙයක් නෙමෙයි.. පිනි ටෙලි නාට්‍යය අතරතුරේ අපිත් හිටියෙ ගමේම අය විදියට තමයි.. අඳින පලඳින විදිය, කතා කරන විදිය හින්දා මමත් වත්තෙම  කාන්තාවක් කියලා හුඟක් අය හිතුවා.. ඉස්සරහට හම්බ වුණාම ආ කොහොමද කියලා කතා කරන්න තරමට වත්තෙ මිනිස්සු අපිට සමීප වුණා.. කඩේ ළඟ කරපු දර්ශනවලදිනම් වෙනසක් දැනුණෙම නෑ.. එක දවසක් කෙනෙක් ඇවිත් මගෙන් ගෙදරකට යන පාර ඇහැව්වා.. මං දන්නෙ නෑ කිව්වම ඔයා මේ පැත්තෙ කෙනෙක් නෙමෙයි ද කියලා ඇහැව්වා.. මම මගෙ චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා කියන හැඟීම මට දැනුණෙ ඒ වෙලාවෙ තමයි.. එයා මගෙන් පාර ඇහැව්වෙ මමත් ඒ වත්තෙ කෙනෙක් කියලා හිතාගෙනනෙ..” ගයාත්‍රි  කීවාය.

ඕනෑම නිර්මාණයක් සාර්ථක වෙන්නේ එයට දායක වන සියල්ලන්ගේම ඇපකැප වීම මතය.  කතා තේමාව ප්‍රබල වීමෙන් විය යුතුය. කොටින්ම කියන්නේ නම් සාමූහික වගකීම පිළිබඳ හැඟීම තදින්ම සිතට කාවද්දා නොගතහොත් බිහි වන්නේ දුර්වල නිර්මාණයකි.  ප්‍රේක්ෂකයෝ එවන් නිර්මාණ කෙරෙහි කලකිරෙති. පිනි ටෙලි නාට්‍යය සාර්ථක වූයේ සාර්ථකත්වයට අවශ්‍ය මූලික කාරණා සියල්ලම සම්පූර්ණ කර තිබූ නිසාය.

“ඇත්තටම මගෙ චරිතය සාර්ථක කර ගන්න ශාන්ත සොයිසා ඇතුළු හැම දෙනාම විතරක් නෙමෙයි තිර රචනය ලියපු මහේෂ් රත්සර පවා ලොකු සහයෝගයක් දුන්නා.. ඒකට හැම දෙනාටම ස්තුති කරන්න ඕන..” ඇය පැවසුවාය.

ප්‍රේක්ෂකයන්ගෙන් රාණිට ලැබුණේ බොහෝ සුබවාදී ප්‍රතිචාරයන්ය. ටෙලි නාට්‍යය විකාශය වෙන කාලයේ ගයාත්‍රි උත්සවයකට සහභාගි වීම සඳහා ඉතාලියට ගියාය. එහිදී හමු වූ මැදි වියේ මහත්මයෙකු කීවේ ඔහු ඒ චරිතය සහිත දර්ශන බොහෝ වාරයක් නරඹන බවය.

නයනමිණ ද තමාට අමතක නොවන නිර්මාණයක් බැව් ගයාත්‍රි ඩයස් පැවසුවාය. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, එඩ්නා සුගතපාල වැනි ප්‍රවීන නළුනිළියන් සමඟ රඟ පාන්නට ලැබීම ඇයට දැනුණේ සිහිනයක් පරිද්දෙනි.

“මම ඒ කාලෙ බයිසිකල් පදින්න දැනගෙන හිටියෙ නෑ.. ඒත් ඒ චරිතයේ විදියට බයිසිකල් පදින්නම ඕන.. මම දර්ශන තලය තිබුණ බංගලාව වටේට යාන්තම් කකුල බිම තියතියා පැදලා පුරුදු වුණා.. ඒත් මම දැනගෙන හිටියෙ නෑ කන්දකින් පහළට බයිසිකලේ පැදගෙන එනකොට බ්‍රේක් අල්ලාගෙන එන්න ඕන කියලා.. මොකද මම තනියමනෙ පුරුදු වුණේ..”

ගයාත්‍රි සිනාසෙමින් කියද්දී මා ඕනෑකමින් සවන් දුන්නේ එය රසවත් සිදු වීමක් බැව් දැනුණ නිසාය.

එම දර්ශනයේදී ඇය විසින් කළ යුතුව තිබුණේ කඳු පාරක පහළට බයිසිකලය පැදගෙන ඒමය. තමා ගැන ලොකු විශ්වාසයකින් සිටි ඇය එයට කැමති වූවාය.  ඇගේ කෝඩුකාර බව දැන සිටි නිසා ජෝ අබේවික්‍රම නම් එයට විරුද්ධත්වය පෑවේය.

“මට හිතුණා තැනිතලාවේ බයිසිකල් පදිනවට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා.. දැන් මම වේගෙන් පහළට එනවා.. බයිසිකලේ පාලනය කර ගන්නෙ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නෑ.. මම දැන ගත්තා අනතුරක් අත ළඟ කියලා.. කෝකටත් සුදානම් සරීරේ කියලා කකුල් දෙකත් උඩට ගත්තා.. පහළ හිටිය කැමරාමන්ටත් ඒක දැනිලා කැමරාවත් අරන් අයින් වුණා.. මම බයිසිකලේ එක්කම පෙරළිලා සෑහෙන්න තුවාල වුණා.. ඒත් ඉතින් එහෙම තුවාල තියාගෙනත් තව දර්ශන දෙකතුනක රඟ පෑවා..”

ඇය කියාගෙන ගියේ නොනවත්වාම සිනාසෙමිනි. ඇගේ එඩිතර බව වෙනුවෙන් ජෝ අබේවික්‍රමගෙන් පැසසුම් ද ලැබූ බැව් ඇය කීවේ කෘතවේදීවය.  

මකර විජිතය ටෙලි නාට්‍යය ද ඇගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. ඇයට චන්න පෙරේරා හැඳින ගන්නට ඉඩ ලැබුණේ එහිදීය.

“ඇත්තටම ඒ කාලේ ක්ෂේත්‍රයට ආව අපි හරි වාසනාවන්තයි.. නිර්මාණයකදී අපි හැමෝම එකම කණ්ඩායමක් විදියට හිටියෙ.. අපි හැමෝම එකතු වෙලා විනෝද වුණා.. ගංගා ඇළදොළවලින් නෑවා.. අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා..”

ඇය කියද්දී අද නළුනිළියන්ගේ ඒ සාමූහිකත්වය නැතැයි ඉඟිය එවදන් තුළ ඇතැයි මට සිතිණි.




 චන්දි කොඩිකාර