පුංචි තිරයේ ආදරණීය තාත්තා ලෙසින් නිර්මාණ කිහිපයකින්ම දක්නට ලැබෙන විශේෂ චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්නට හිතුවා.ඒ ආදරණීය චරිතය තමයි ඇන්ටන් කුරේ .
- ආදරණීය තාත්තා විදියට ඔබ පුංචි තිරයේ නිතර දෙවේලේ දකින්න ඉන්නවානෙ. ඉතින් කියමුද මේ දිනවල නිරත වන නිර්මාණ කටයුතු?
මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය සිද්ධ වෙනවා. නාළිකා කිහිපයකම වගේ. ඒ අතරින් බොහෝ පිරිසකගේ ආදරය, ප්‍රතිචාර ලබාගන්න හැකිවෙලා තියෙනවා සිරස නාළිකාවෙ රාත්‍රී 8ට විකාශය වන ‘‘රොකී’’ ටෙලි නිර්මාණය වෙනුවෙන්. එහි මම රංගනයෙන් දායකවෙන්නෙ ‘‘රොකී හි’’ ප්‍රධාන චරිතය වෙනුවෙන් සම්බන්ධ වන නේහාගේ තාත්තාට. ඔහු හරිම කරුණාවන්ත, දියණියට දැඩිව ආදරය කරන නිවුණු චරිතයක්. ඒ නිසාම ඉතින් ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙනවා. මේ වෙද්දි. ඊට අමතරව චරිත් අබේසිංහ අධ්යක්ෂවරයාගේ ‘‘බඹරෙක් ඇවිත්’’ ටෙලි නිර්මාණය වෙනුවෙන් සම්බන්ධවෙලා ඉන්නවා. එය විකාශය වෙන්නෙ හිරු නාළිකාවේ. එහි මගේ චරිතය විපුලගෙ තාත්තා. ඒ චරිත රංගනයේ නම් එකම චරිතය වුණත් විවිධාකාර ස්වරූපයන් ගන්නවා. ඔහු තාත්තා කෙනෙක් වගේම ගුරුවරයෙක්. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් විදියටත් දිවෙනවා. ඒත් එක්කම දෙරණ නාලිකාවෙ විකාශය වන ‘‘ඉස්කෝලේ’’ නාට්‍යයේ එඩ්වින් සීයාගේ චරිතයත් මම තමයි කරන්නේ. ඔහුත් විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. ඉතින් ඒ චරිතයටත් හොඳ යහපත් විදියෙ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ දිනවල විකාශය වෙන්නෙ මේ නිර්මාණයන් තමයි.
- මේ රංගන කටයුතු එක්ක ඔබ කාර්යබහුලයි වගේ?
ඇත්තටම ඔව්. මම මගේ ජීවිතේ වැඩි ඉඩකඩක් දැන් ලබාදෙන්නෙ රංගනය වෙනුවෙන්. මොකද මම සැබෑ ජීවිතේ ග්‍රාම නිලධාරියෙක් විදියට සේවය කළා. නමුත් දැන් විශ්‍රාමිකයි. ඉතින් මට දැන් නිදහස තියෙනවා රාජකාරි වගකීමක් නැති නිසා රංගන කටයුතුවල පූර්ණකාලීනව නිරත වෙන්න. රංගනය කියන්නෙ මම ඉතාම කැමැත්තෙන් නිරතවන අංශයක්.
- එහෙනම් ඇයි වෙනත් ක්ෂේත්රයක රැකියාවක් කළේ?
ඇත්තම කියනවනම් මට පුංචිම කාලෙ ඉඳන් තමයි රංගනයට කැමැත්ත තිබුණෙ. පාසල් වේදිකාව තුළ මම ඒ අත්දැකීම් ලැබුවා. ඒ කාලෙ මට හොඳ රංගන හැකියාවක් තිබුණා. ළමා කාලෙ වේදිකාවෙන් ජයග්‍රහණ සම්මාන රැසක්ම දිනාගෙනත් තියෙනවා. නමුත් ටික කාලයක් ගිහින් අපි තරුණ කාලෙට එද්දි අපිට තිබුණු ආර්ථික දුෂ්කරතා එක්ක කලාවෙන් ටිකක් ඈත්වෙන්න වුණා. ඉතින් මම ටික කාලයක් විදෙස්ගතවෙලාත් හිටියා. නමුත් කලාව නම් අත්හරින්න හිතුවෙ නැහැ. කොහොමහරි මම නැවත ලංකාවට ආවම විවාහ වුණා. විවාහයෙන් පසුව මට ස්ථිර රැකියාවක් ලැබුණා. එතැනින් පසුව මගෙ සැඟවිලා තිබුණු හීනය නැවත සැබෑ කරගන්න හැකිවුණා. ඒ නිර්මාණ සීමිත ගණනකට වගේ සම්බන්ධ වෙමින්. මුලින්ම වේදිකාවෙත්, ඊළඟට පුංචි තිරයෙත්, සිනමාවෙත් රංගනයන්ට අවස්ථාව ලැබුණා. ඉතින් එදා මෙදා තුර අද වෙද්දි මට නිර්මාණ රැසකටම දායකවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පුංචි තිරයෙ නම් මේ වෙද්දි නිර්මාණ 150ක් වගේ කරලා ඇති. එතකොට රිදී තිරයෙත් ප්‍රවීණ අධ්යක්ෂවරු යටතේ ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම වසන්ත ඔබේසේකර, සරත් ධර්මසිරි, පාලිත පෙරේරා,රොහාන් පෙරේරා වැනි දැවැන්තයන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ටෙලි නිර්මාණත් ඒ වගේම තමයි.
- මෑතකදී කතාබහට ලක්වුණු ටෙලි නිර්මාණ ගැන කෙටියෙන් සඳහනක් කළොත්?
සුපුන් රත්නායක අධ්යක්ෂවරයාගේ තත්ත්පරයක් දෙන්න, බුද්ධික ලොකුකැටියගෙ හපන්නු අපි ගමේ රාජ්ජේ, සාරංග මෙන්ඩිස්ගෙ සංගීතේ, චරිත් අබේසිංහගෙ බඹරෙක් ඇවිත්, ප්‍රියාල් රණසිංහගේ අන්දරේ මම රඟපෑ නිර්මාණ අතරින් කිහිපයක්. ඇත්තටම මේ තුළ මට ලැබිලා තියෙන්නෙ එකිනෙකට වෙනස් චරිත. ඉතින් අද මම සතුටුවෙනවා රංගනය පැත්තෙන් මේ වගේ තැනකට එන්න ලැබීම ගැන.
- තවත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා ඇති නේද?
ඔව්. නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. පුංචි තිරයෙ, රිදී තිරයෙ දෙකේම. ඒ තුළින් ඉදිරියේදී බලාගන්න හැකිවෙයි.
- ඔබ ඔබේ රංගනයන් පුංචි තිරය තුළින් නරඹනවද?
ඔව්, ඇත්තටම මම විවේකයක් ලැබෙන හැම වෙලාවකම මගේ රංගනයන් නරඹනවා. පුංචි තිරයෙන් බැරි වුණොත් U Tube හරහා හෝ මම ඒවා බලනවා. ඉතින් ඒවා දකිද්දි සතුටුයි.
- ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කිව්වොත්?
ගොඩක් සතුටුදායක ප්‍රතිචාර තියෙනවා. පාර තොටේ යද්දි වුණත් කතාබහ කරලා මගේ ඒ රංගනයන් ගැන අහනවා. කතාබහ කරනවා. ආශිර්වාද කරනවා. ඒවා ඉතින් මට ලොකු ශක්තියක්.
- අද වෙද්දි ඇන්ටන් කුරේ රංගන ශිල්පියාව අපි දකින්නෙ ‘‘තාත්තා’’ චරිතය තුළින්නෙ. ඔබේ තරුණ කාලෙදි රංගනයට සමුදෙන්න වුණා කිව්වනෙ විවිධ දුෂ්කරතා මත. ඉතින් එදා පෙම්වතාගේ චරිතය ඔබෙන් මගහැරීම ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?
ඒ ගැන ඇත්තටම දුකක් තියෙනවා. මොකද තරුණ කාලේ ඒ අවස්ථාව නොලැබීම ගැන. නමුත් අපිට ලැබෙන වෙලාවට තමයි හැමදේම ලැබෙන්නේ. අපට ඕනෑ කියලා ජීවිතේ මොන මොන දේ ප්‍රාර්ථනා කළත් අවශ්‍ය වෙලාවට තමයි ඒවා ලැබෙන්නෙ. ඒ නිසා මගහැරුණු දේවල් ගැන දුක්වෙලා වැඩක් නැහැ. දැන් ලැබිලා තියෙන දේවල් ගැන හිතලා සතුටින් මේ ගමන යනවා. මොකද තව කොයිතරම් කාලයක් මට මේ ගමන යන්න හැකි වෙයිද දන්නෙ නැහැනෙ. ඒ නිසා පුළුවන් තාක්කල් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා.
- ඒ කාලේ වේදිකාවටවත් පෙම්වතා වෙන්න අවස්ථාව ලැබුණෙ නැද්ද?
වේදිකාව තුළ ප්‍රේම චරිත කළා. ඒ වගේම දුෂ්ටයා වෙලාත් තියෙනවා. නමුත් පුංචි තිරයේ, රිදී තිරයේ අවස්ථාව ලැබුණෙ නැහැ. එක් වතාවක් ‘‘බට්ටි’’ නාට්‍යයේ ඒ අවස්ථාව ලැබිලා තියෙනවා.
- සැබෑ ජීවිතේ ඔබේ ආදරණීය ඇය ගැන කියමුද?
මගේ ආදරණීය බිරිඳ රංජනී අබේසිංහ. අපි දැන් විවාහ වෙලා අවුරුදු 41ක් වෙනවා. ඇය මගේ ජීවිතයට ලැබුණු වස්තුවක් විදියට තමයි මම හිතන්නෙ. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා විවාහකයි. දැන් ඒ දෙන්නට දරුවොත් ඉන්නවා. ඉතින් ඒ හැමදේම එක්ක මමත් බිරිඳත් දැන් නිදහස් ජීවිතයක් තමයි ගත කරන්නෙ. විවේකයක් ලැබුණු ගමන් ඇවිදින්න යනවා. ජීවිතේ දැන් තමයි පැහැදිලිවම විඳින්නෙ කියලා හිතෙනවා. ඒ අතරේ කලා නිර්මාණවලටත් සම්බන්ධවෙලා ජීවිතේ සතුටින් ගෙවනවා.
ධනූ විජේරත්න