අද අයියයි-මල්ලියි විශේෂාංගය හැඩ කරන මේ කඩවසම් සොහොයුරන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නැහැ. නිලුක කරුණාරත්න, යනු එදා මෙදා තුර ලාංකීය බැඩ්මින්ටන් ක්‍රීඩාවට දායාද වූ විශිෂ්ටතමයා ය. චාමික කරුණාරත්න යනු ඇඟෙන් කෑල්ලක් ගියත් ලෙහෙසියෙන් තරගය අත්නොහරින ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකි. දෙස් විදෙස් සුපතළ මේ සහෝදරයින් දෙදෙනාගේ සැබෑ ජිවිතයේ ගති ගුණ මොන වගේ විය හැකි ද? නිලුක එයාගේ පවුලේ බාල සහෝදරයා වන චාමික ගැන කියූ හැටි අපි දැන් කියවමු.
- නිලුක ඔබ පවුලෙ වැඩිමලානෙ. අනෙක් සහෝදරයින් ගැන කියමු?
දෙවැනි මල්ලි දිලුක, තුන්වෙනි මල්ලි දිනුක. බාලයා තමයි චාමික.
- ඒ සහෝදරයින් හා සසඳද්දි චාමික මොන වගේ කියල ද ඔබ හිතන්නෙ?
ඒ දෙන්නත් එක්ක සසඳද්දි චාමික වෙනස් චරිතයක්. මම වගේම හෝ මටත් වඩා දක්ෂතාවයෙන් ඉදිරියෙන් සිටින වග පේනවා. ඒ වගේම තමයි එයාගේ ඉදිරිපත්වීමේ ගුණය වැඩියි. උද්යෝගිමත් සහ උනන්දුව වැඩි කෙනෙක්. යම්කිසි ඉලක්කයක් වෙනුවෙන් එයා සාර්ථක කර ගැනීම දක්වාම කටයුතු කරන චරිතයක්.
- එයාගේ කුඩා කාලය ගැන ඔබට මතක ද?
පොඩි කාලයේදි අපට වඩා සැප පහසුකම් එක්ක හැදී වැඩුණු කෙනෙක්. මම එයාට වඩා අවුරුදු 11ක් වැඩිමල්. අපට ආ අභියෝග එයාට ආවෙ නැහැ. පවුලේ බාලයා නිසා හැමෝම රැකවරණය සහ අවධානය තිබුණෙ චාමිකට. මට තිබුණු අභියෝග එයාට තිබුණෙ නැහැ. දක්ෂතාව අතින් ගත්තොත් එයා ඉතා ඉදිරියෙන් හිටියෙ. මලල ක්‍රීඩා, බැඩ්මින්ටන් සහ ක්‍රිකට් යන අංශ තුනෙන්ම වාමික රෝයල් එකේ නායකයා ලෙස කටයුතු කළා. ක්‍රීඩාවට අපට දැනුම ආවේ තාත්තාගෙන්. නමුත් අපට ඒ දැනුම හොයාගෙන යන්න සිදුවුණා. ක්‍රීඩාවේ අපි ලැබූ දැනුම අපට එයාට දෙන්න අවකාශය ලැබුණා. මම හිතන්නෙ ඒක එයාට රුකුලක් වෙන්න ඇති. පොඩි කාලය ගැන මතක් කළොත් හරිම දඟ සහ විනෝදයෙන් සිටි ළමයෙක්. කරපු දඟ වැඩ නම් බොහොමයි.
- එයා මොන වගේ අංශයකින් යාවි කියල ද හිතුවේ?
අනිවාර්යයෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යන බව අපිට හැඟුණා. මට ඕනෑ වුණේ එයාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් කරගෙන බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු කරවන්න. මුල් කාලයේදීම මම ඒකට උනන්දු වුණා. මම බැඩ්මින්ටන් පටන් ගත්තෙ තාත්තා එක්ක. ඊට පස්සේ අනෙක් මල්ලිලා දෙන්නවත් යොමුකළා. මෙයාවත් බැඩ්මින්ටන් අංශයෙන් ඉහළට ගෙන යන්නයි මම උත්සාහ ගත්තේ. අපට තිබුණෙ බැඩ්මින්ටන් වෙනුවෙන් පාරක් හදාගෙන යන්න. ඒත් චාමිකට ඒ මාර්ගය ඉබේ හැදිලා තිබුණෙ.
- කොහොම නමුත් චාමික වඩා ජනප්‍රිය වුණේ ක්‍රිකට් නිසානේ.?
ඒක ඇත්ත. ඒත් ක්‍රීඩාවකින් අපි අවසානයේ බලාපොරොත්තු වන්නේ තෘප්තියනෙ. ශාරීරික - මානසික තෘප්තිය වගේම සතුට කියනදේ ක්‍රීඩකයකු හට උපරිමයෙන් ලබන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් ක්‍රීඩා කරද්දී ඉතාම සියුම් ආකාරයේ අවස්ථා බොහොමයි. ඒවා අපේ මොළයට සම්බන්ධ වෙනවා. මොළය තෘප්තියක් ලබද්දි තව තවත් ඒ ක්‍රීඩාව කරන්න පෙලැඹවීමක් ඇතිවෙනවා. විද්‍යානුකූලව ගත්තොත් ඒ නිසයි මම එයාව බැඩ්මින්ටන් වෙතම රඳවා ගන්න බැලුවෙ.
- නිලුක, දිලුක, දිනුක සහ චාමික කඩවසම් කොල්ලො තමයි මේ අය අතරින් වඩාත් හැඩකාර චරිතය හැටියට ඔබ දකින්නෙ?
චාමිකට කොහොමටත් ආකර්ෂණය වැඩියිනෙ. ඒ එයාගේ වයසෙදි මම සිටියදි මටත් ඒ ආකර්ෂණය තිබුණා. සමහර විට චාමිකටත් වටා ආකර්ෂණයක් මට තියෙන්න ඇති.
- මේ කඩවසම් ක්‍රීඩකයින් හතර දෙනාට රඟපෑමට ආරාධනා එහෙම ආවේ නැද්ද?
චාමික කුඩා කාලයේදී ‘රන්දියදහර’ ෆිල්ම් එකේ රඟපෑවා.
- නිලුක ලොකු අයියා විදිහට චාමික මල්ලි එක්ක තියෙන බැඳීම මොන වගේ ද?
හොඳ අවබෝධයක් තියෙන සහෝදරයින් දෙදෙනෙක්. ක්‍රීඩා කරන නිසා අපේ තියෙන බැඳීම වැඩියි. අපි හතර දෙනාම එකම ක්‍රීඩාවක් කිරීම ඇත්තටම අපේ වාසනාවක්. ඒ නිසා බැඳීම තවත් වර්ධනය වුණා.
- චාමික ක්‍රිකට් ක්‍රීඩා කරන තරග නරඹන්න ඔබ යනව ද?
අනිවාර්යයෙන්ම යනවා.
- එයාගේ රහස් එහෙම ඔයාට කියනව ද?
කියනවා, කියනවා නොකිව්වත් අපි ඒවා දැන ගන්නවනේ.
- වෘත්තියක් විදිහට චාමිකට ගැළපෙන්නෙ මොන වගේ අංශයක් කියල ද ඔබ හිතන්නෙ!
මම හිතන්නෙ එයාට ව්‍යාපාරික දැනුම තියෙනවා. ඒ වගේම හොඳ කළමනාකාරණයක් තියෙන්නෙ. එයා අපට වඩා ඇඩ්වාන්ස්. අපට වඩා සිතීමේ පරිකල්පනය එයාට වැඩියි.
- මේ හතර දෙනාගෙන් ව්‍යාපාර අංශ කරන්නෙ කවුද?
මමයි- චාමිකයි එකතු වෙලා ‘‘ශක්ති ජනක පානයක්’’ අලෙවි කරන ආයතනයක් පවත්වාගෙන යනවා. ඊට තවත් හවුල්කරුවන් දෙදෙනෙක් අපි සමග එකතු වී සිටිනවා.
- ‘චාමික ගෙදර සිටින විට ඔබ එක්ක සහ ගෙදර අය එක්ක වැඩිපුර කතා වෙන්නෙ?
වැඩිපුර කතා වෙන්නෙ ලංකාවේ ක්‍රීඩා ගැනයි. ක්‍රිකට් විතරක් ගැන නොවෙයි. ලංකාවේ ක්‍රීඩාවන් පවත්වාගෙන යන විදිහ සහ අනෙකුත් රටවල විදිහ ගැන කතා වෙනවා. ඒ වගේම දේශපාලනය ගැනත් කතා වෙනවා. ක්‍රීඩාව ගැන බොහෝ තර්ක අපි අතර වෙනවා.
- ඔබ දෙදෙනා අතර ඇති සමානකම් මොනව ද?
අභියෝග බාර ගැනීම. ලෙහෙසියෙන් පසු බසින්නෙ නැහැ. ක්‍රීඩාවෙදි හෝ පුද්ගලික ජීවිතයේදී වේවා අභියෝග ආවාම අපි ඒ නිසා පසු බසින්නෙ නැහැ. ප්රශ්නය විසඳගෙනම තමයි නතර වෙන්නෙ.
- චාමිකට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවන අවස්ථාවලදි ඔබ මොනව ද කියන්නෙ!
ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සහ තේරීම් කමිටුව අනුගමනය කරන විදිහක් තියෙනවානෙ. ඒක අපට හරි පුරුදුයි. පිටරටවල පරිපාලනය කටයුතු කරන විදිහ සහ අපේ රටේ විදිහ හරි වෙනස්. ඒක අපි කරන ක්‍රීඩාවට බලපානවා. විශේෂයෙන්ම ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩක ක්රිඩිකාවන්ගෙ දක්ෂතා මැන බැලීම ගැන තියෙන්නෙ ලොකු ප්‍රශ්නාර්ථයක්! ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ගැන නිවැරදි අවබෝධයක් සහ කියැවීමක්, දැක්මක් පරිපාලනයට නැහැ. එක්කෝ එහෙම කරන්න එයාලට දැනුමක් නැහැ. ක්‍රිඩක - ක්‍රීඩිකා කුසලතා හරියට මැන්නොත් විතරයි රටක් විදිහට ලොකු ජයග්‍රහණවලට යන්න පුළුවන්. කණ්ඩායමෙන් ඉවත් කළොත් දක්ෂතා දක්වලා ආ යුතුයි. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. නමුත් දක්ෂතා පෙන්නුවත් කණ්ඩායමට නොගන්නා අවස්ථා තියෙනවා. ඒක ඉතින් හැමදාටම කරන්නත් බැහැනෙ. පරාජයේදි හෝ ඉවත් කිරිමේදි අඩියක් පසුපසට තබා අපි අපි ගැනම විමර්ෂණය කර බැලීම් කළ යුතු වෙනවා. කොතැනද වැරදුණේ? ඇයි වැරදුණේ කියලා එවා හදාගෙන නැවත ජයග්‍රාහී මනසින් පිවිසීම වැදගත්.
- චාමිකට හදාගන්න තියෙන අඩුපාඩුව ලෙස ඔබ දකින්නෙ?
මම හිතන්නෙ එයා එයාගේ පුද්ගලික දක්ෂතා ගැන මුලින්ම හිතනවා නම් හොඳයි. බොහෝ වෙලාවට එයා එයාව අමතක කරලා ලෝකෙ හදන්න යනවා. මම නම් ඊට තදින්ම විරුද්ධයි. එයා ඒ දේ කරන්න ගිහින් උපදෙස් දෙන්න ගිහින් අනෙක් කෙනාගෙ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහින් පාඩු සිදු කරගන්නෙ එයාටමයි. මුලින් තමාගෙන් විය යුතු වගකීම සියයට - සියයක්ම ඉටු කිරීමයි වැදගත්.
- සැබෑ ජිවිතයේදි චාමික කොහොම චරිතයක් විදිහට ද ලොකු අයියා වන ඔබ දකින්නෙ?
චාමික අතිශය සුන්දර මනුස්සයෙක්. සාමාන්‍ය ජීවිතයේදි බොහෝ මිනිසුන් වෙනුවෙන් උදවු කළ උපකාර කළ, මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි චරිතයක්. දුකේදී අපහසුතාවට පත්වූ විටදි නිතරම ඔවුනට අත දෙන්න ඉදිරිපත් වන කෙනෙක්. ඒක පමණ ඉක්මවා ඉටු කරන චරිතයක් විදිහටයි මම එයාව දකින්නෙ.
සඳුන් ගමගේ