වේදිකාවත් පුංචි තිරයත් හැඩකරන අතරතුර තමාගේ කලා දිවියත් එළිපෙහෙළි කරගනිමින් සිටින ඔහු නළුවෙක් යන භූමිකාවට කොටු නොවී කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් තමාගේ දස්කම් විස්කම් පෙන්වමින් සිටියි. මේ පූර්විකාවේ හිමිකරු දමින්ද නන්දරත්නයි.
- දමින්ද පසුගිය දිනෙක විවාහ දිවියට එළැඹුණු බවට තොරතුරු දැන ගන්න ලැබුණා. ඇත්තද ඒ කතාව?
නැහැ. ඒක මමත් තිළිණිත් සම්බන්ධ කරගෙන කරපු ෆොටෝ ෂූට් එකක් විතරයි. අපි දෙන්නා ගොඩක් වෙලාවට නිර්මාණවලින් හමුවෙන්නේ වේදිකාව මතදි. නමුත් සින්ටෝ ටෙලි නාට්‍යය නිසා අපි දෙන්නට එකට පුංචි තිරයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් එක්ක තමයි මේ ෆොටෝ ෂූට් එකටත් ආරාධනාව ලැබුණේ.
- ඒ කියන්නේ දැන්ම මනමාලයාට අදින්නේ නැහැ?
ඒකට නම් ටික කාලයක් යයි. සාමාන්‍යයෙන් අපි හැමෝටම ජීවිතයේ Life Target තියෙනවානේ. මටත් ඒ විදිහේ Life Target කිහිපයක්ම තියෙනවා. ඒ දේවල් හරි ආකාරයෙන් ඉටු කරගත්තාට පස්සේ තමයි විවාහයක් ගැන හිතන්නේ.
- ඔබේ ආදර කතාව දැන් හරි ජනප්‍රියයි. ඉතින් ඇය ගැනත් මතක් කරමු?
ඇත්තටම ඒක ආදර කතාවක් වෙන්න කලින් මුලින්ම පටන් ගන්නෙ අපි දෙන්නාගේ යාළුකම. මමත් තිළිණිත් රංගන වැඩ කටයුතුවලදි තමයි හමු වෙන්නේ. එයා මට වඩා වැඩිමහල්. පළවෙනියෙන්ම මම ඇයට කතා කළේ අක්කා කියල. ඒ විදිහට අදුනගෙන ටික කාලයක් යද්දී, එකට වැඩ කරද්දී මට තේරුණා ඇය මගේ වැඩකටයුතු වලදි වගේම මගේ ජීවිතයේ දේවල් බෙදා ගනිද්දිත් ඒ දේවල් ඇය එක්ක පහසුවෙන් කරන්න පුළුවන් කියලා. ඒ නිසාම ඒ යාළුකම ක්‍රමක්‍රමයෙන් ආදර කතාවක් බවට පරිවර්තනය වුණා.
- ඔබ 2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයක් ලබා ගත්තා නේද?
'කොටු' කියන වේදිකා නාට්‍යය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශය යටතේ 2024 වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. කෙටි නාට්‍ය සඳහා තුන් පාරක් මට මේ සම්මානය ලැබිලා තියෙනවා. නමුත් පළමුවරට තමයි දිගු නාට්‍යාංශයේ සම්මානයකට පාත්‍ර වුණේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. ඒ වේදිකා නාට්‍ය සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබාදුන්නේ අසංක සායක්කාර. එම වේදිකා නාට්‍ය ටෙලි නාට්‍යයක් විදිහටත් ඉතා ඉක්මණින්ම දැකගන්න පුළුවන් වේවි.
- දමින්ද මේ දිනවල පුංචි තිරයේ කලා වැඩ කටයුතු මොනවාද?
දෙරණ නාලිකාවේ විකාශනය වන අම්මා වගේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. එහි අවසාන කොටස්වල තමයි මේ දිනවල රූගත කිරීම් සිද්ධ වෙන්නේ. ඊට අමතරව සින්ටෝ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. සින්ටෝ ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වීමත්, සම්මානයක් හිමි වීමත් සමඟම හොඳ අධ්‍යකෂකවරු කිහිපදෙනෙක්ගෙන්ම අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිර්මාණත් ලඟදීම බලා ගන්න පුළුවන් වෙයි.
ඔබේ ආරම්භය වේදිකාව. ඉතින් වේදිකාවේ අලුත් වැඩ කටයුතු මොනවා ද?
ඒ ගැන අනිවාර්යයෙන්ම කිවයුතු දේවල් බොහෝමයක් තියෙනවා. ඇත්තටම මම මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ දහම් පාසලෙන්. ඒ විදුර චානක අධ්‍යක්ෂවරයා යටතේ. ඒ නිසා මගේ ආරම්භය දහම් පාසල් වේදිකාව කීවොත් නිවැරදි. ඊට පස්සේ මට පාසල් කාලයේදීම කුරුගල සර්, ජනක් ප්‍රේමලාල් වැනි කලාව ඇතුළේ දැවැන්තයෝ නැත්නම් ලෙජන්ට්ලා, කලාව වෙනස් කරපු- කලාවට අලුත් දේවල් ගෙනාපු ගුරුවරු හමුවෙනවා. ඒ අයත් එක්ක තමයි මම මේ ක්ෂේත්‍රයේ මේ ගමන් මඟ පටන් ගන්නේ. දැනට මම කොටු, හීන අරං පාරේ හිටං, යන්න ළඟයි කියන වේදිකා නාට්‍යවල රංගන කටයුතු කරගෙන යනවා. යන්න ළඟයි කියන වේදිකා නාට්‍ය මගේ අලුත් නිර්මාණයක්. අවුරුදු හයකට විතර පස්සේ තමයි මම මේ විදිහේ නිර්මාණයක් එළි දක්වන්නේ. මේක පිටසක්වළ යානයක් සහ පිටසක්වල කතාවක් සම්බන්ධ කරගෙන කරපු නිර්මාණයක්. අපි ටෙලි නාට්‍යවලදී මේ පිටසක්වළ කතා දැකල තිබුණත් වේදිකාවේ දකින්න ලැබෙන්නේ හරිම අල්ප වශයෙන්. ඉතින් ඒක ටිකක්, වෙනස් අලුත් වැඩක්.
- ඔබ වේදිකාව සහ පුංචි තිරය කියන අංශ දෙකම ස්පර්ශ කළ අයෙක්. ඒ වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
නළුවෙක් විදිහට ඔය දෙක ගැන කතා කළොත් මුළින්ම අපි මේ දෙකේ වෙනස හදුනා ගන්න ඕන. මේ දෙකට වෙනස් විදිහේ ටෙක්නික්ස් තියෙනවා. ඒ කැටගරි වෙනස හදුනා ගන්න ඕන. මොකද stage එකක් ඇතුළෙ වැඩ කරන විදිහට නෙමෙයි ටෙලි නාට්‍යයක් ඇතුළෙ වැඩ කරන්නේ. ඒ ඒ දේවල්වලට විශේෂ වෙනස්කම් තියෙනවා. නළුවා විසින් මේ වෙනස හඳුනාගෙන ඒ රිදම් එක පොඩ්ඩක් ඔළුවට දාගත්තොත් ඒක ජයගන්න හරිම ලේසියි. අපි අහලා තියෙනවා ගාමිණී ෆොන්සේකා වගේ ප්‍රකට නළුවොත් මුල් කාලයේ දී මේ වෙනස ඇතුළේ අපහසුතාවට පත්වෙලා තියෙනවා කියලා. ඉතින් හරියට ඒ ටෙක්නික්ස් අඳුරගත්තොත් මේක දෙකේම වැඩ කරන එක හරිම පහසුයි.
- මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැනත් කියමු?
ඇත්තටම කිව්වොත් ආදරය නැහැ. මොකද සින්ටෝ ටෙලිනාට්‍යයේ නන්දේගේ චරිතය නිසා බොහෝවිට හමුවෙන හැමෝම අහන්නේම ඇයි අනේ සිතාරට එහෙම කරන්නේ කියලා තමයි. සිතාරා ළඟ ඉද්දිත් එහෙම අහනවා. මම ඒ හැම වෙලාවකම කියන්නේ අධ්‍යක්ෂතුමා සහ රචකයා තමයි ඒ දේවල් කරන්නේ සහ ඒ දේවල් තීරණය කරන්නෙ කියලා. එහෙම කීවට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ලස්සනට රගපානවා කියලත් බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ටෙලි නාට්‍යවලටත් වේදිකා නාට්‍යවලටත් ඒ විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ නැවතත් මිනිස්සු ගොඩ දෙනෙක් මම වටා එකතු වෙනවා වගේ හැගීමක් දැනෙනවා.
- තරුණයෙක් විදිහට මේ වෘත්තිය තෝරා ගැනීම ගැන මොකද හිතන්නේ?
මුලදී ගුරු වෘත්තිය තෝරගන්න තමයි මටත් අදහස තිබුණේ. අපිට පොඩි කාලේ තියෙනවානේ ඒ වගේ සිහින. ඇත්තටම ඒකේ වැරැද්දක් නැහැ. විශේෂයෙන්ම අපේ තාත්තයි අක්කයි හැම වෙලේම කළේ මාව රට යවන්න හදන එක. මම මැනේජ්මන්ට් සම්බන්ධයෙන් තමයි ඩිප්ලෝමා එකක් කරල තියෙන්නේ. ඉතින් ඒ අය උත්සහ කළා මාව ඒ පැත්තෙන් ඉදිරියට යවන්න. ඒකට හේතුව කලාව තුළ පැවැත්මක් නැහැ කියලා සමාජගත වෙලා තිබුණ අදහස. නමුත් අම්මා සහ අයියා ගොඩක් උත්සාහ කළා මාව කලාව ඇතුළෙම තියාගන්න. පසුකාලීනව ගෙදර හැමෝම මට ඒ සහයෝගය ලබාදුන්නා. ඒ සහයෝගයත් එක්ක තමයි අද මම මෙතන ඉන්නේ. ඒ වගේම මගේ ළඟින් ඉන්න යාළුවො පිරිසක් මට මේ ක්ෂේත්‍රයේ පැවැත්ම හදාගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඕනෑම දෙයක් පටන් ගත්ත ගමන්ම හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ. කාලයක් යන්න ඕන ඒකෙ ඵලය ලබාගන්න. මම හැමදාම කියන්නේ මේක බිස්නස් එකක්. අපි දැකලා තියෙනවා සිල්ලර බඩු කඩ සුපර්මාකට් එහෙමත් වැහිලා ගිහින් පාඩු විදිනවත්. රංගනය කියන්නෙත් එහෙමයි. රංගනය කියන බිස්නස් එක ඇතුළේ තමන් උඩටම යනවද, නැත්තම් වැඩ නැතුව ගෙදර ඉන්නවද කියන එක තීරණය වෙන්නේ අපි මත. මේක හරියට අඳුරගත්තොත් මේ ක්ෂේත්‍රය ඇතුළෙත් දියුණුව පැවැත්ම තියෙනවා.
- නළුවා කියන කොටසට අමතරව ඔබ මේ ක්ෂේත්‍රයේ මොනවගේ දේවල් ද කරන්නේ?
මම රචකයෙක් විදිහට වගේම කොරියෝග්‍රැෆර් කෙනෙක් විදිහටත් වැඩ කර ගෙන යනවා. ඊට අමතරව වෙෙළද දැන්වීම් සහ මියුසික් වීඩියෝ වගේ දේවල් ලියනවා. තවත් කීවොත් මම දැනට වසර කිහිපයක ඉඳන්ම actor trainer කෙනෙක් විදිහට වැඩ කරනවා. පෞද්ගලික පුහුණු කිරීම් වගේම මගේ ආට් ලයිෆ් කියන අධ්‍යාපන ආයතනය හරහාත් මේ ඉගැන්වීම කටයුතු සිදු කරනවා. එයින් බිහිවුණු ගොඩක් අය මාවත් පහු කරගෙන ඉදිරියට යනවා මට පේනවා. ඉතින් trainer කෙනෙක් විදිහට ගොඩක් සතුටුයි. පොඩි කාලේ ඉඳන් මට තිබුණු ගුරුවරයෙක් වීමේ සිහිනයත් මේ විදිහට හරි මම සැබෑ කරගත්තා.
- මේ ක්ෂේත්‍රය තෝර ගන්නකොට මම නතර වෙන්නේ මේවගේ තැනක කියලා අරමුණක් දමින්දට තිබුණ ද?
ඔව්. කෙනෙක්ට මේක මාර පණ්ඩිත කතාවක් කියල හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපි මේ ක්ෂේත්‍රයට එනකොටම අපේ ගුරුවරු ඒ Dream එක අපිට හදලා තිබුණා. මේ ක්ෂේත්‍රයට යනවා නම් කවදක හරි මේ තැන නතර වෙන්න ඕන කියන අරමුණ අපිට දීලා තිබුණා. ඉතින් මේ නිසා අපි හැමෝටම හොඳ අරමුණක් තිබුණා. මම පෞද්ගලිකව හදාගත්තු මගේ අරමුණ වෙන්නේ කවදක හරි මම අන්තර්ජාතික වශයෙන් මගේ රංගන කුසලතා පෙන්වනවා කියන දේ. ඒක කොයි විදිහට සාර්ථක වෙයි ද දන්නෙ නැහැ. නමුත් වෙනත් රටක ෆිල්ම් එකක රඟපාලා ඒ ගෞරවය ලංකාවට අරන් එනවා කියන අරමුණ මට තාමත් තියෙනවා.
- ඔබ හදාරපු කළමනාකාර විෂයෙන් වැඩක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
දැනට මම මගේ Art Life ඇකඩමි එකත් එක්ක ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අවුරුද්දෙ ඒකෙ 4වෙනි කණ්ඩායමේ බදවාගැනීම් කිරිමට නියමිතයි.ඒක තමයි ප්‍රධානම. ඒ වගේම ඉගෙන ගත්ත කළමනාකරණ විෂයෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක පොඩි ව්‍යාපාර කටයුත්තක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
දුලක්ෂි ලියනගේ