යුරෝපයේ අසිරියටත් එහා ගිය කොළඹ සුපිරි තරු හෝටල මවන නත්තල් අසිරිය



කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැබෙන්නේ ප්‍රෞඪත්වයද, ගාම්භීරත්වයද, නවීනත්වයද රැගත් ගොඩනැගිලිය. වසර කීපයකට පෙරදි පැරණි හෝටල ලෙස මේ කලාපයේදී දැක ගත හැකි වුණේ සිලෝන් ඉන්ටර් කොන්ටිනෙන්ටල්, ගෝල්ෆේස් හොටෙල් සහ ටාජ් හෝටලය මෙන්ම ගලධාරි හෝටලයයි. ඉන්ටර් කොන්ටිනෙන්ටල් පසුව කොන්ටිනෙන්ටල් ලෙස හැඳින්විණි. එහෙත් අද එය නවීකරණය කොට සුපිරි හෝටල සංකීර්ණයක් ලෙස නම් කර ඇත්තේ ‘‘ද කිංග්ස්බරි’’ යන නමිනි. කොළඹ නගරයේ ලස්සන වඩාත් ආකර්ෂණීය වන්නේ වෙසක් සමයට සහ නත්තල් සමයේදීය. ඉතින් මෙවර මේ නත්තල් සමයේදී කොළඹ ද කිංග්ස්බරි හෝටලය හැඩ කෙරී ඇති අයුරු ඉතාම මනරම්ය. ද කිංග්ස්බරි සුපිරි හෝටල පරිශ්‍රය විතරක් නොවෙයි, අනෙකුත් තරු හෝටලද හැඩ කර ඇති අයුරු වෙනදාට වඩා චමත්කාරයක් මවයි. ඒ චමත්කාරයට මැදිව මෙවර නත්තල් සමයේදී කොළඹ නගරය හැඩවී ඇති අයුරු නරඹන්න, එන්න යන්න අපිත් එක්ක.

අපි මේ සුන්දර චාරිකාව කොළඹ ජනාධිපති මන්දිරයට මෙහායින් ඇති ද කිංග්ස්බරි පරිශ්‍රයේ සිට අරඹමු.

කොළඹ වරාය නගරයට මෙපිටින්, ජනපති මන්දිරයට යාබදව ලෝක වෙළෙඳමධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි පරිශ්‍රයට සහ ඉපැරණි පාර්ලිමේන්තුවට මෙහායින් ඇති ද කිංග්ස්බරි හෝටලය යනු කොළඹ නගරයේ වඩාත් කාර්යබහුල තරු හෝටලයකි. මෙවර නත්තල් සමය වෙනුවෙන් මෙම කිංග්ස්බරි හෝටල පරිශ්‍රය හැඩකර ඇති අයුරු දැක බලා ගැනීමට බොහෝ දෙනා පැමිණෙන අයුරු දැක ගත හැකිය. එම ගොඩනැගිලි පරිශ්‍රය දිස්වන්නේ නන්තල් විලාසිතාවකින් හැඩකර ඇති අයුරිනි. ලංකාවේ තරු හෝටලයක් මෙලෙසින් හැඩ වූ විරල අවස්ථාවක් ලෙස ‘‘කිංස්බරි’’ නත්තල් සැරසිලි සඳහන් කළ හැකියි. ඔවුන් තේමා කරගෙන ඇත්තේ ක්‍රිස්මස් බබල් (Bauble) යන තේමාවයි. ඒ අනුව හෝටල් ගොඩනැගිල්ලේ මුදුනත සිට සම්පූර්ණ ගොඩනැගිල්ල ආවරණය වන පරිදි ‘‘බබල්’’ සැරසිලිවලින් සරසා ඇති අයුරු කොළොම් පුරවරයටම  චමත්කාරයක් මවයි. කිංග්ස්බරි මෙලෙසින් හැඩකර ඇත්තේ මතුපිටින් පමණක් නොවේ, එහි ඉදිරිපසට බොහෝ දෙනා එක් රොක් වන්නේ තැඹිලි පාටින් රාත්‍රියේදී ආලෝකවත් වන නත්තල් ගස නිසාය. එහි විදුලි ‘‘බබල්’’ විශාල දොඩම් ගෙඩි ලෙස දැක ගත හැකිය. බොහෝ දෙනා එතැනට පැමිණ ඡායාරූප ගැනීම සිදු කරයි. කිංග්ස්බරි ඉදිරිපස ඇති එම නත්තල් ගසට අමතරව, ලොබියේ, එනම් පිළිගැනීමේ ස්ථානයේ ඇති නත්තල් ගසද සරසා ඇත්තේ ‘‘බබල්’’ තේමාව යටතේය. මුළු කිංග්ස්බරි හෝටල පරිශ්‍රයම හැඩ කර ඇති අයුරු සැබැවින්ම මවන්නේ අතිශය චමත්කාර චිත්‍රයකි.

කිංග්ස්බරිය පසුකර ගාලු පාර දිගේ ගාලු මුවදොර හෝටලය දෙසට යන විට පැරණි පාර්ලිමේන්තුව පිටුපසට වන්නට ඇති සිනමන් ලයිෆ්  සුපිරි හෝටලය දැකගත හැකි අතර, එය ඉදිරිපස සහ විශේෂයෙන්ම එහි ඇතුළත ක්‍රිස්මස් සැරසිලි අසිරිය කලාත්මක අයුරින් දැක ගත හැකිය. එහි එක් ස්ථානයක හිස් වයින් බෝතල ​යොදාගෙන (කොළ පැහැයෙන් යුතු) නිර්මාණය කර ඇති නන්තල් ගසක ආකෘතිය රැගත් නිර්මාණය දුර්ලභ නිමැවුමකි.

ඊළඟ අපි ITC රත්නදීප හෝටලය දෙසට යමු. එය ඉදිරිපස හැඩකර ඇත්තේ විදුලි ආලෝක රටා සහිත නිර්මාණයකිනි. එහි ලොබිය හෙවත් පිළිගැනීමේ ස්ථානයෙහි ඇති නත්තල් ගස බොහෝ වර්ණවත් නිර්මාණයකි. රත්නදීප හෝටල ගොඩනැගිල්ල විදුලි ආලෝකයෙන් හැඩකර ඇති පරිශ්‍රයක් නිසා, එය නත්තලේදී පමණක් නොව දිනපතා ආකර්ෂණීයව දැකගත හැකි දසුනකි.

රත්නදීපයෙන් පසුව සුපිරි ෂැංග්‍රිලා සහ වන් ගෝල්ෆේස් වෙත ගිය විට එම පරිශ්‍රයෙන් නැවත ඒමට නොසිතෙන තරමට ඇතුළත නත්තල් සැරසිලිවලින් හැඩගන්වා තිබේ. බිම් මහලේ සිට මහල් කීපයක් උසට ඇතුළත ඉදිකර ඇති නත්තල් ගස් නිර්මාණය බැලීම සඳහාම වන් ගෝල්ෆේස් වෙත බොහෝ පිරිස් පැමිණෙති. ඊට යාබද ‘‘ෂැංග්‍රිලා’’හි නත්තල් අසිරිය ​බෙහෙවින්ම චමත්කාරය. ක්‍රිස්මස් ඉන් ද එයාර් යන තේමාව යටතේ නත්තල් සැරසිලි කර ඇති අතර, මෙවර මෙම කලාපයට පැමිණෙන අයට ‘‘වොන්ඩර්ලෑන්ඩ්’’ හෙවත් පුදුම දේශය යන විනෝද උයනක ආස්වාදය විඳගත හැකිය. එය විශ්මය අත්දැකීමක් යැයි ෂැංග්‍රිලා අදහස් කරයි. වන්ගෝල්ෆේස්, ෂැංග්‍රිලා සහ රත්නදීප පසුකර යන විට ඊළඟට හමුවන්නේ ටාජ් හෝටලයයි. පැරණි ටාජ් නත්තල් රසයට දී ඇති අරුත ද වඩා කලාත්මකය.

කොළඹට සහ ගාලු මුවදොරට, සංකේතයක් වූ පැරණිතම හෝටලයක් වන ගාලු මුවදොර හෝටලය මේ සමරන්නේ ඔවුනගේ වසර එකසිය හැටක සැමරුමයි. එනිසාවෙන් වෙනදාට වඩා ගෝල්ෆේස් හෝටලය නත්තල් සැරසිලිවලින් හැඩගන්වා ඇත්තේ වික්ටෝරියානු යන තේමාව යටතේය. ඉපැරැණි උසස් කලාත්මක රසය රැගෙන, රතු පැහැයෙන්, නත්තල් සැරසිලි නිමවා ඇත්තේ ගාම්භීර රාජ මාලිගයක අසිරිය මවමිනි. විනෝදය මෙන්ම සතුටට එහා ගිය ශාස්ත්‍රීය අරුතක රසය විඳගැනීමට මේ නත්තල් සමයේදී ගාලු මුවදොර හෝටල පරිශ්‍රය කදිම ස්ථානයකි.

ගෝල්ෆේස් හෝටලයෙන් පසුව අපි කොල්ලුපිටිය දෙසට ඇවිද යමු. අරලියගහ මැඳුරට මෙහා ඇති ‘‘සිනමන් ග්‍රෑන්ඩ්’’ හෝටලයෙහි ඉදිරිපස රාත්‍රියට යා යුතුම තැනක් වන්නේ නත්තල් සැරසිලි එතරම්ම ආකර්ෂණීය බවක් රැගත් නිසාය. සිනමන් හෝටල ලාංඡනයේ ඇති දම් පැහැයද සමහර සැරසිලිවලට යොදාගෙන තිබේ. එහි වඩාත් ආකර්ෂණීය ස්ථානය වන්නේ ලොබිය හෙවත් අමුත්තන් පිළිගැනීමේ කලාපයයි. සිනමන් ග්‍රෑන්ඩ්හි රස ආහාරවලට රිසි බොහෝ දෙනා රාත්‍රියට මෙහි පැමිණි පසු ‍සිනමන් ග්‍රෑන්ඩ් ඉදිරිපස ලොබි කලාපය සහ උද්‍යානයෙහි බොහෝ වේලාවක් රැඳී සිටින්නේ මේ නත්තල් අසිරියේ චමත්කාරය විඳගැනීම වෙනුවෙනි.

කොල්ලුපිටිය හන්දියෙන් ටිකක් වමට හැරී එන විට හමුවන සිනමන් රෙඩ්, නවීනතම තාක්ෂණය යොදාගෙන සැරසිලි කර ඇති වග දැක ගත හැකිය. අඩි 20ක් උසැති නත්තල් ගස සහ 26 වැනි මහලේ මුදුනත සැරසිලි රාත්‍රියට දිස්වන්නේ අහස් වියන මත කළ අලංකාර ආලෝක රටා මෙනි.

කොළඹ ඇති සියලු තරු හෝටල වෙත ගොස් නත්තල් සිරි නැරඹීමට නම් එක් දිනක් ප්‍රමාණවත් නොවේ. මේ සෑම තරු හෝටලයක් සහ ගොඩනැගිලි පරිශ්‍ර මෙවර නත්තලේදී කර ඇති සැරසිලි සහ නිර්මාණ දෙස බලද්දී, මෙරට සංචාරක හෝටල ක්ෂේත්‍රයේදී ​මොනතරම් නම් නිර්මාණශීලී මිනිසුන් අප සතු ද යන්න මැන ගත හැකිය. නත්තලට යුරෝපයේදීවත් නැති අසිරියක් ඔවුන්ගේ නිර්මාණ කුසලතාවයෙන් එළිදක්වා තිබීම ආඩම්බරයට කරුණකි.




 සඳුන් ගමගේ