ලංකාවේ දිගටම ඉන්න ළඟදීම එනවා - AISHARAH Athukorala



ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් කලා ශිල්පිනියක්.  කාලෙකට පස්සේ අයිස් ක්‍රීම් සිනමාපටය සමඟ කරළියට එන ඇය සඳැල්ල සමඟ කතාබහට එක් වූයේ මෙලෙසිනි.

  • කාලෙකට එනවා කාලෙකට නැති වෙනවා, අයිෂාරා සිනමාවෙන් දකින්නේ කාලෙකට පස්සේ?

විවාහයත් එක්ක  විදෙස් ගතව ජීවත් වුනත් මම ලංකාවට නිතර ආවා ගියා . හැබැයි ලොකුවට කලා කටයුතුවලට දායක වෙන්න ලැබුණේ නැහැ. දුවලා දෙන්නාගේ වැඩත් පවුල් ජීවිතේ කාර්යබහුලත්වය එක්කයි  ලැබුණ ආරාධනා වලටත් දායක වෙන්න බැරි වුණේ. ඒ ගැන පුංචි දුකක් තියෙනවා.

  • කොහොමද අයිස් ක්‍රිම් එක්ක ගෙවුන සිනමා අත්දැකීම?

අයිස් ක්‍රිම් මම ප්‍රධාන චරිතයකට දායක වෙන මගේ දෙවන සිනමාපටය .  අයිස් ක්‍රිම් කියන්නේ ඇත්තටම වෙනස් කතාවක්. ප්‍රදීප් ධර්මදාස කියන්නේ හැමදාම වෙනස් විදිහේ නිර්මාණ කරන්න උත්සාහ කරන කෙනෙක්, ඇහිපිල්මක් යට ​ෙ​ෙත්‍රලෝකා, වගේ ඔහුගේ නිර්මාණවලට මම බොහෝ සෙයින් ප්‍රිය කළා. ඔහුගේ  පළමු සිනමා නිර්මාණයට මාව සම්බන්ධ කරගත්ත එක ගැන ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි අයිස් ක්‍රිම් සිනමාපටයේ  නිෂ්පාදිකාව ගැන කියනවානම් ඇය කෝකිලා විතානගේ නවක නිශ්පාදකවරියක්. මේ කණ්ඩායමෙන්ම  සහයෝගයක් ලොකු ළෙන්ගතුකමක් ඔවුන්ගෙන් මට ලැබුණා. අයිස් ක්‍රිම් චිත්‍රපටයේ මගේ චරිතේ ෆැන්ටසි එකක් . චිත්‍රපට ඇතුළේ මම තවත් නිළියක් විදිහට තමයි රඟපාන්නේ. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්.

  • අයිස් ක්‍රිම් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

‘පැණි මකුළුවෝ’ ෂුටින් අතරතුරම තමයි අයිස් ක්‍රීම් චිත්‍රපටය ට  ප්‍රදීප් ධර්මදාස මහත්මයා මට ආරාධනා කරන්නේ. ඔහු හොයලා තිබුණේ වැඩිය දැකලා නැති අලුත් මුහුණක්. ඒ අනුව ප්‍රදීප් අයියා මට කතා කරලා එන්න කිව්වා. ගියාම මට  චිත්‍රපටය ගැන ලොකු පැහැදිලි කිරීමක් කලා . කළණ ගුණසේකරගේ පළමු පිටපත වෙනස්ම පිටපතක්.

  • කොහොම වුණත් අයිෂාරා ගේ ජීවිතේ වෙනස් වෙන්නේ  පැණි මකුළුවෝ සිනමා පටයෙන් , ඒත් එක්කම ඔබ සියල්ල හැර දා විදේශ ගතවෙන්නේ  ඔබේ රුව ප්‍රෙක්ෂකයන් වැඩි වශයෙන් සොයන්න ගත්ත කාලේක. ඇයි ඔබ මේ ගමන අතරමග දාලා ගියේ?

සිනමාවටත් වඩා නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ . සිනමාවේ ලැබුණ අවස්ථාව ඒ වෙනසට ලොකු ආලෝකයක් ගෙන දුන්නා. උදාර පල්ලියගුරු තමයි මාව පැණි මකුළුවෝ  නිර්මාණය සඳහා තෝරගන්නේ .ප්‍රවීණ රංගන ශිල්පියකු වන සනත් ගුණතිලක මහත්මයා සමඟ මට ඒ නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න ලැබිම ලොකු අත්දැකීමක්  වුණා.

හිතා මතා හැරදා ගියේ නැහැ. නමුත් පැණි මකුළුවෝ අවසන් වුණ ගමන්ම මම විවාහ වුණා. සැමියාගේ රැකියාවත් එක්ක 2018  දි   මට විදේශ ගත වෙන්න සිදු වුණා. නමුත් මම ලංකාවට  නිතර ආවා ඊට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ ‘හංකිති දහතුන’ කියන වේදිකා නාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඊළඟට උදුම්බරා චිත්‍රපටය ලැබෙද්දි මට දුව ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තා. ඉතින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒ චිත්‍රපට භාරගන්නේ නැතුව ඉන්න වුණා. ඇත්තටම ඒ මඟ හැරුණේ මගේ රංගන ජීවිතේට ලැබුණ හොඳම අවස්ථාවක්.මොකද  ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි උදුම්බරා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ මිස් වීම ගැන නම් ලොකු දුකක් තියෙනවා.

  • නීතීඥවරියක් වීමේ හීනෙත් දැන් අතෑරලාද?

අපෝ අතෑරලා නැහැ. උසස් පෙළ කරපු ගමන්  මම එංගලන්තයට ගියේ නීති උපාධිය කරන්න.  නීති උපාධි කටයුතු ඉවර කරලා මම ලංකාවට ආවෙම  ඇවිල්ලා ලංකාවේ නීති පීඨයේ ලියාපදිංචි වෙලා  අවසන් විභාගයට සූදානම් වෙන්න. ඒ දවස්වල තමයි නිරෑපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මිතුරියක් හරහා.

නුහුරු අත්දැකීමක් වුණත් මට නිරූපණ ක්ෂේත්‍රයට ආස හිතුණ. පළමු වතාවේ නිරෑපිකාවක් විදිහට පෙනී හිටපු දවසේ තමයි පළමු වතාවට මොඩ්ලින් ෂෝ එකක් දැක්කේ. නිරූපිකාවක් වෙන්න මගේ හිතේ කවදාවත් ආසවක් තිබුණේ නැහැ. හැබැයි නිරූපණ කටයුතු වලට ටික ටික සම්බන්ධ වෙනකොට  මට ඒ පැත්තට ආස හිතුණා. එංගලන්තේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ආපු ගමන් නිසා මගේ මානසික ආතතියෙන් මිදෙන්නත් ලොකු ඕනකමක් තිබුණා.  ඒ විදිහට නිරෑපිකාවක් ලෙස කාලයක්  වැඩ කළා.  ෆැෂන් ඩිසයිනර්ලත් සමඟ ගොඩාක් වැඩ කරන්න ලැබුණා. ඊට පස්සේ නිවේදන කටයුතුවලට දායක වෙන්න ලැබුණා. ලංකාවට ආවේ ලංකාවේ  නීති පීඨයේ අවසන් විභාගයට පෙනීසිටින්න වුණත් කලා වැඩ එක්ක ඒ සියල්ල අතරමඟ නතර  වුණා. එහි අවසන් විභාගය කරාම ලංකාවේ නීතිඥවරියක් ලෙස මට සේවය කරන්න පුළුවන්. අවුරුදු කිහිපයකට පස්සේ එ්  විභාග කටයුතු වෙනුවෙනුත් මේ දවස් නැවත ටික ටික සූදානම් වෙමින් ඉන්නවා.  

  • ඒ කියන්නේ ලංකාවේ පදිංචියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා?  

ඔව් මම ලංකාවට දීර්ඝකාලීනව ඉන්න ළඟදීම එනවා. අයිස් ක්‍රිම් වලින් පස්සේ වැඩ කිහිපයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය වලට එහෙම  මුල් කාලේ ආරාධනා ලැබුණේ නැහැ. දැන් මම ලංකාවේ දිගටම රැඳෙන්න බලාපොරොත්තුවත් එක්ක ටෙලි නාට්‍ය ලැබුණොත් භාරගන්නවා. නැවත සුපුරුදු විදිහට කලා කටයුතු කරන්න තමයි එකම බලාපොරොත්තුව.

  • කොහොමද සැමියාගෙන් ලැබෙන සහය?

සැමියාගෙන් මගේ කලා ජීවීතේට ලොකු සහයෝගයක් ලැබෙනවා.කලා  වැඩ කරන්න කියලා මාව ගොඩාක් උනන්දු කරවන්නේ ඔහු.  එයා නිසා මට රටින් එළියට යන්න වීමත් එක්ක මගේ කලා ගමන අතරමග නතර වුණා කියලා  එයා ගොඩාක් වොරි වෙනවා.ඇත්තටම විදේශ ගත වුන අලුත ගොඩාක් නිර්මාණ මට මඟ ඇරැනා.

  • නිළියක් වෙන්න හීනෙකවත් තිබිලා තිබුණ නැති අයිෂාරා ට අද මොකද හිතෙන්නේ. ?

මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. එහෙම ආසාවක් ඇති වෙන්නවත් අදහසක්වත් තිබුණේ නැහැ. මොකද්දෝ හේතුවකට නිරූපණය පැත්තට එන්න අවස්ථාව ලැබුණා. එතනින් කලාවට එන්න ලැබුණා. අද මම කලාවට පිවිසීමට අවස්ථාව ලැබුණ එක ගැන සතුටු වෙනවා. රංගනයට මම මාර ආසයි. රංගනය ගැන ඉගෙන ගන්න තිබුණනම් වටිනවා කියලා වේදිකා නාට්‍ය කරද්දි දැනුණ තැන් තියෙනවා.

  • අයිෂාරා ගේ ෆැෂන් කියන්නේ නිතර වැඩි කතාබහට ලක්වෙන දෙයක්?  

ගොඩාක් අය මා දිහා බලන්නේ පිටරට හැදුණ වැඩුණ කෙනෙක් විදිහට. මම අවුරුදු ගණනාවක් ලන්ඩනයේ ජීවත් වුණ නිසා වෙන්නත් ඇති මම විවිධ විලාසිතා කරන්න කැමතියි. ලස්සනට අඳින්න ආසයි. අලුත් අලුත් විලාසිතා අත්හදා බලන්න කැමතියි. ඇඟට ලස්සනනම් ඒ අවස්ථාවට ගැළපෙනවනම් මම ඕනම විලාසිතාවක් කරනවා.


 නදිශා අතුකෝරළ
 සුමුදු හේවාපතිරන