2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයියා’යි ඇතුළත්. මෙයාලා ඔක්කෝම මේ විදිහට සන්ධානගත කළේ ‘Adam & Eve’ Event Company එකයි. විවිධ ඉසව්, ප්‍රසංග ආදිය සංවිධානය කරන මෙම ඉෙවන්ට් සමාගමේ ප්‍රධානියා වන්නේ ඔබ අප කවුරුත් දන්නා හඳුනන, මාධ්‍ය චරිතයක් වන සුදේව හෙට්ටිආරච්චියි. සුදේව සහ මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛ චරිතයක් වන සාරංග විජේරත්නගේ සංකල්පයකට අනුව බිහි වූ මේ කොමඩි සන්ධානය ගෙන එන “සභාවේ සිනා” ප්‍රසංගය මෙම 23 වැනිදා සවස 7.00ට පැවැත්වෙන්නේ කොළඹ BMICH ශාලාවේදීයි. ලංකාවේ සුපිරිම කොමඩි චරිත සෙට් එක විදිහට හැඳින්වෙන සමගි කොමඩි සන්ධානය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන “සභාවේ සිනා” ප්‍රසංගය මොන වගේ ද, කොහොම ද මෙයාලා මේ විදිහට එකට සෙට් වුණේ, අද දවසේ එයාලාගේ සැබෑ ජීවිතවල විස්තරත් එක්ක ඒ ගැන කතා කිරීමටයි මේ සූදානම.
චූටී මල්ලියි-පොඩි මල්ලියි
මුලින්ම අපි අල්ලා ගත්තෙ චූටි මල්ලියි - පොඩි මල්ලියි. ඒ කියන්නේ, සුනෙත් චිත්‍රානන්දයි, ගාමින්ද ප්‍රියවිරාජ්වයි.
චූටි මල්ලියි-පොඩි මල්ලියි
- ඔක්කෝටම කලින් අපට කියන්නකෝ කොහොම ද ඔය දෙන්නා එකතු වෙච්ච විදිහ ගැන?
“ඒක අහවල් දිනයේ කියලා හරියටම කියන්න බැහැ. අපි දෙන්නා තරුණ සේවා සභාවට සම්බන්ධ වුණේ 1997 දී. එහිදී කළ හැදෑරීම්වලින් පස්සෙ සිරස ‘කාටුන්’ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හඬ කැවීම් වගේම ඒවා අධ්‍යක්ෂණය කරන්නත් අවස්ථා ලැබුණා. මුලින්ම අපි සම්බන්ධ වුණේ සිරස එෆ්.එම්. එකට. ටී.වී. එකට සම්බන්ධ වුණේ ඉන් පස්සෙයි. ඒ විදිහට පටන්ගත්ත ගමන පසුව දැන්වීම්, ප්‍රවර්ධන කටයුතු වගේ අංශ දක්වා විහිදී ගියා. පසුව හාස්‍යය තේමා කරගත් ‘ෂෝ’ කරන්න පටන්ගත්තා. අන්තිමටම ඒ ගමන අපි දෙන්නා එකතු වෙලා ෆිල්ම් එකක් කිරීම දක්වා ඇවිත් තියෙනවා. එදා ඉඳලාම අපේ වෘත්තිය වුණේ මෙම විෂයයට සම්බන්ධ ප්‍රචාරණ කලාවයි.”
- දෙන්නා අද වන විට පොහොසත් ඇති?
“එහෙමම නැහැ. කාලා, ඇඳලා, පවුල නඩත්තු කරගෙන, කාටවත් කරදරයක් බරක් නැතුව ජීවත් වෙනවා. අපි දෙන්නා එකතු වෙලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන කටයුතු කළෙත් අපි.”
- සුනෙත්ගේ ෆැමිලි එකේ විස්තර?
“මමයි, බිරිඳයි, පුතයි, දුවයි. බිරිඳ මනෝචිකිත්සක උපදේශකවරියක්.”
- ගාමින්දගේ ෆැමිලි එකේ විස්තර?
“බිරිඳ ශයනි සහ දියණිය. දියණිය පාසල් සිසුවියක්, මියුසියස් විද්‍යාලයේ.”
- ගාමින්දගේ සහ සුනෙත්ගේ මේ වෘත්තීය ගමන මේ තරමට සාර්ථක වීමට හේතු වුණේ?
“අපි දෙන්නා මේ ගමන පටන්ගනිද්දිම අපට ලැබෙන මුදල සහ කීර්තිය සමව බෙදා ගන්න කථිකා කරගත්තා. ඒ නිසා ඒ ගමනේ ඇති විනිවිදභාවය එක්ක දුර ගමනක් එන්න පුළුවන් වුණා.”
- ජනයි - ප්‍රියයි, ලකයි - සිකයි, සිරිල් අයියා කියන චරිත කොමඩි ක්ෂේත්‍රයට ඔබ දෙදෙනාගෙන් පසුව ආපු අය. ඒ අය එක්ක මේ විදිහට ප්‍රසංගයකට එකතු වීම ඔබ හිතන්නේ කොහොම ද?
“අපට පසුව ආවත් එයාලා බොහෝම ජනප්‍රියයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ නිරන්තරයෙන් එයාලා ඉන්නවා. එයාලා අපෙන් මේ කොමඩි ක්ෂේත්‍රයේදී පෝෂණයක් ලැබුවේ නම් අපිත් එයාලාගෙන් පෝෂණයක් ලබනවා. ඒක දෙපැත්තෙන්ම සිදුවන දෙයක්. එයාලා එක්ක වැඩ කරන්නත් ලෙහෙසියි. අපට සවන් දෙන පිරිසක්. අපටත් පුළුවන් විදිහට එයාලාට උදව් කරනවා. ඔයාලා පරණයි, ඇයි එයාලා එක්ක එකතු වුණේ කියලා සමහරු ඇහුවා. හැබැයි අපට එහෙම පරතරයක් නැහැ. එකට එකතු වෙලා වැඩ කිරීම තමයි වඩා හොඳ.”
|
![]() |
ජනයි - ප්‍රියයි
ජනයි-ප්‍රියයි
‘ජනයි - ප්‍රියයි’ ගැන ඊළඟට කතා කළොත්, ජනාගේ ඇත්ත නම රංග ජයකොඩි. එයා අඩි හයයි අඟල් පහක් උසයි. ප්‍රියාගේ ඇත්ත නම තමයි චමල් රත්නායක. හැබැයි ඉතින් එයාලාගේ පරණ යාළුවෝ හැරෙන්නට අලුත් පරපුරේ අය මේ දෙන්නා අමතන්නේ ජනා සහ ප්‍රියා කියලයි. ජනා, ප්‍රියාට කතා කරන්නේ චමලෙ කියලාලු. මේ යාළුකම ගැන කතා කළොත්, වසර 14කට වැඩියි. ‘ජනයි - ප්‍රියයි’ සංකල්පයට පෙර මේ හමුව ඇති වෙලා තියෙන්නේ රංගන ශිල්පි මධුශාන් හත්ලහාවත්ත නිසා කිව්වොත් හරි. රංග සහ මධුශාන් දෙන්නාම ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගෙන තියෙන්නේ.
මුලින්ම මේ දෙන්නා ප්‍රචාරණ ආයතනයක වැඩ කරලා තියෙනවා. එහිදී කටයුතු කරද්දී තමයි මේ දෙදෙනාම ඔවුන්ගේ හැසිරීම්වල සමානකම් එක්ක අවබෝධයක් ඇති වෙලා තියෙන්නේ. විහිළු කතා කියද්දී, රස කතා කියද්දී මේ දෙන්නාගේ කතා අහන්න ඔෆිස් එකේ අයත් එකතු වෙලා. ඉතින් එයාලාගේ ඔෆිස් එකේ විශේෂ අවස්ථාවලදී දෙන්නාට කොමඩි වැඩසටහන් කරන්න වගේ අවස්ථා එහෙමත් ලැබිලා. ඔය අතරේ බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන දෙන්නා ‘තේ’ බිස්නස් එකක් එහෙමත් ට්‍රයි කරලා තියෙනවා. ඒ අතරේදී නිකමට වගේ දෙන්නා එකතු වෙලා ‘යූටියුබ්’ එකට වීඩියෝ කරන්න පටන්ගත්තාලු. ඒ ගමන මේ තරම් දුරක් ඒවි කියලා නම් මුලදී එයාලා හිතලා නැහැ. මුලින්ම එයාලාට එයාලාගේම Page එකක් තිබිලත් නැහැ. රංගගේ ෆේස්බුක් පිටුවේ තමයි මුලින්ම ප්‍රචාරය කරලා තියෙන්නේ. එයාලාගේ ඒ වැඩ කැමරා කරපු ගිමන්ත අරන්පත් තමයි වෙනමම පේජ් එකක් කරලා එයාලාගේම වැඩක් කරන්න කියලා යෝජනා කරලා තියෙන්නේ. ‘යූටියුබ්’ චැනලය හදලා තියෙන්නේ එයාලාගේ මිත්‍ර නළු මේනක රාජපක්ෂයි. ඉතින් ඔන්න ඔය විදිහට ආ ගමන තමයි අද ජනයි - ප්‍රියයි බොහෝ දුරකට ගිහින් තියෙන්නේ.
ප්‍රියා හෙවත් චමල්ගේ ගම අකුරැස්සේ පරදූව. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන, පසුව උසස් පෙළ කරලා තියෙන්නේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. ඒ දිනවල මීටර 100 සහ 200 සහ තුන්පිම්ම ඉසව්වත් කළ දක්ෂ පාසල් ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි ඉගෙනීමටත් මෙයා හරිම දක්ෂයෙක්. සා/පෙළ D–9 සහ C–2ක් සහිතව සමත් වෙලා. උසස් පෙළ කළේ ජීවවිද්‍යා අංශයෙන්ලු. එයාගේ එකම අරමුණ වුණේ වෛද්‍යවරයකු වීමට බව කියනවා. කොහොම වුණත් දෛවය ලියැවී තියෙන්න ඇත්තේ වෙන පැත්තකට වෙන්නැති. කොහොම හරි ‘ජනයි - ප්‍රියයි’ නමින් එයාලාගේම මේ ගමන අරඹද්දී, එයාලාගේ ‘හීරෝලා’ වෙච්ච චූටි මල්ලි සහපොඩි මල්ලිගෙන් හොඳ උපදේශයකුත් ලැබුණු නිසා ශක්තිමත් ගමනක් එන්න පුළුවන් වූ වගත් එයාලා සඳහන් කරන්නෙ ගෞරවයෙන්.
රංග ජයකොඩි සහ චමල් රත්නායකගෙන් රංග විවාහකයි. චමල් මේ වසරේදී විවාහ වෙන වග තමයි පේන්නේ. රංග හෙවත් ජනාගේ විවාහය සිදු වුණේ එයාගේ වයස අවුරුදු 21 දී විතරලු. ඒකට හේතුව පවුලේ එකම දරුවා ‘ජනා’ වීමයි. අම්මා විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර, තාත්තා සේවය කරලා තියෙන්නේ වරාය අධිකාරියේ. අද ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන ජනා සහ බිරිඳට පුතුන් දෙදෙනකු ඉන්නවා. ජනාට මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගමනක් ඒමට අදහස් ඇති කළේ බිරිඳගේ සහෝදරයා නිසා කියලත් එයා ගෞරවයෙන් සඳහන් කරනවා.
|
![]() |
ලකයි - සිකයි
ලකයි-සිකයි
‘ලකයි - සිකයි’ නිර්මාණය කළ චරිතය වන්නේ ලක්මාල් වීරසිරි. නම එහෙම වුණාට අද හැමෝම එයාට කතා කරන්නේ ‘ලකා’ නමින්. ලක්මාල්ගේ බිරිඳ ශාලිකා නදීශානි ගැනත් බොහෝ දෙනෙක් දන්නේ ‘ලකයි - සිකයි’ නිසයි. ලකා සහ ශාලිකාට දූවරුම තුන් දෙනෙක් ඉන්නවා. කොහොම ද ජීවිතය කියලා අපි ඇහුවාම ලකා ඒ ගැන කිව්වේ මේ විදිහටයි.
“ජීවිතය බොහොම පරෙස්සමින් ගත කරමින් සිටිනවා. විශේෂයෙන් අපි ගනුදෙනු කරන්නේ සමාජ මාධ්‍ය එක්ක නිසා පරෙස්සමින් වැඩ කළ යුතු වෙනවා. ජීවිතය කියන්නේ සැහැල්ලුවෙන් සිටිය යුතු තැන්වලදී සැහැල්ලුවෙන් සහ බරපතළව සිටිය යුතු තැන්වලදී ඒ විදිහට හිතන්න ඕනෑ.”
එලෙසින් අදහස් දක්වන ලකාගේ අනෙක් සගයා කවුද කියලා අපි බලමු. එයා ලකාට අමුත්තෙක් නම් නෙවෙයි. සිකා වෙච්ච එයාගේ නම ශාන් අරෝෂ. ශාන්, ලක්මාල්ගේ පුංචි අම්මාගේ පුතා. ඒ කියන්නේ, එයාලා එකට හැදී වැඩුණු ඥාති සහෝදරයෝ. ලකා ඉගෙනීමට වගේම බාහිර වැඩවලටත් දක්ෂ වුණා වගේම සිකා වෙච්ච ශාන් ක්‍රීඩා අංශයට බෙහෙවින් දක්ෂ වූ කෙනෙක්. ඒ නිසාම තමයි යුද හමුදා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙසත් ඒ දිනවල කටයුතු කරලා තියෙන්නේ.
“සිකාගේ තාත්තා, ඒ කියන්නෙ ශාන්ගේ තාත්තා එයාට කලින් හුරතල් කළේ මාව. කලාවේ බොහෝ දේ පොඩි කාලයේ ඉඳලා මට හුරු කළේ එයා. එයා මට නටන්න පුරුදු කළ හැටි අද වගේ මතකයි. ශාන්ව එක අතකින් අල්ලාගෙන මාව තව අතකින් අල්ලාගෙන ෆිල්ම් බලන්න එක්ක ගිය හැටි මතකයි. ඒ වගේ දේ නිසා කලාව අපේ ඇඟට එන්න ඇති. ඒ බාප්පත් වේදිකා නාට්‍යයක රඟපාලා තිබූ හැටි මතකයි. හැබැයි ශාන් රඟපාලා තිබුණේ නැහැ. ඒත් එයාගේ ඇඟේ ඒ දක්ෂතාව ඇති කියලා මම හිතුවා. සිකාගේ චරිතය වෙනුවෙන් මම එයාව තෝරා ගත්තේ ඒ නිසයි. ඒක රිස්ක් එකක් වුණත් එයා ඒක හරියට කළා. අපි ‘ලකයි - සිකයි’ ලෙස යූටියුබයේ මතුපිටින් පෙනුණාට අපි දෙන්නා ඒ හරහා කරන්නේ ඇඩ්වර්ටයිසින්.”
මේ අය එක්ක ඇත්තටම අපිට මේ පුංචි පිටුවකින් දෙකකින් කතා කරන්න බැහැ. බොහෝ විස්තර කතා කරන්න තියෙනවා. වෙන් වෙන්ව අපි ඒ ගැන මෙයාලා එක්ක කතා කරමු. හැබැයි මේ සටහනේදී ‘සිරිල් අයියා’ එක්කත් කතා නොකළොත් අඩුවක් වේවි. ඒ නිසා අන්තිමට අපි එයා ගැනත් සඳහනක් කරන්නම්.
|
![]() |
සිරිල් අයියා
සිරිල් අයියා |
‘සිරිල් අයියා’ නමින් කොමඩි ප්‍රේක්ෂකාගාරයේ ආදරය දිනාගත් ඔහුගේ ඇත්ත නම ජනිත ප්‍රනාත් රූපසේන. දන්නවා ද, ජනිත කියන්නේ මේ විදිහට කොමඩි චරිතයක් ලෙස කටයුතු කරන ශිල්පියෙක් විතරක්ම නෙවෙයි. හොඳ ඔළුවක් තියෙන චරිතයක්. ඒ කියන්නේ, ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ගණිත විෂයයට දක්ෂ වූ නිසාම උසස් පෙළ ඒ දෙකයි බී එකයි ප්‍රතිඵල ලබාගෙන මොරටු සරසවියට ඇතුළත් වී උපාධිය ලබාගත් චරිතයක්. එයාට එයාගේ ප්‍රේමය හමු වෙලා තියෙන්නෙත් එතැනදී. ඇයත් ඉංජිනේරුවරියක්. මේ ඉංජිනේරු යුවළට වසර තුනක් වයසැති පුංචි පුතෙක් ඉන්නවා. ඒ විස්තර එක්ක ‘සිරිල් අයියා’ වූ ජනිත එයාගේ තවත් විස්තර අපට කීවේ මෙහෙමයි.
“මම ඉගෙන ගත්තේ මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයෙන්. සා/පෙළ ඒ සමාර්ථ 10ක් ලැබුවා. උසස් පෙළ ඒ 2යි බී 1ක් ලබා ගෙන ලංකාවේම 400 වැනියා වෙලා තමයි මොරටු කැම්පස් එකට තේරුණේ. වෘත්තිය ඉංජිනේරු වුණාට විනෝදාංශයක් විදිහට තමයි මේ කොමඩි අංශය තෝරා ගත්තේ. පොළොවේ පය ගහලා ජීවත්වන කාටවත් කරදරයක් නැති අහිංසක මිනිහෙක්. පවුලේ විස්තර කිව්වොත්, තාත්තා හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්. අද ජීවතුන් අතර නැහැ. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. මට අයියලා දෙන්නයි. එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනෙක් අයියා ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කරන්නේ.”
ඒ විදිහට කියන ජනිත නොහොත් සිරිල් අයියා තමයි “සභාවේ සිනා” ‘පූරක’ විදිහට කටයුතු කරන්නේ. එයා ඒ විදිහට කටයුතු කරද්දී, අනෙක් කට්ටිය කරන්නේ මොනවා ද කියලා දැනගන්න “සභාවේ සිනා” බලන්නම වෙනවා.
සඳුන් ගමගේ