අලුත් සභිකයන්ට රැස්වීම් ශාලා ඉඩ මදිලු


(ජයන්ත සමරකෝන්)   
මිශ‍්‍ර ක‍්‍රමයට ඉදිරි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් ඒවායේ සභික සංඛ්‍යාව 4486 සිට 6619 දක්වා වැඩිවීම නිසා කොළඹ මහනගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල සභා රැස්වීම් ශාලා පුළුල් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වෙයි.   

කොළඹ මහ නගර සභාවේ සභික සංඛ්‍යාව 53 සිට 106 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් අලුතින් සභා ශාලාවක් ඉදිකිරීමට සිදුවී ඇති බව නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. බ්‍රිතන්‍ය යටත් විජිත පාලකයන් විසින් 1865 දී ඉදිකරන ලද කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට මේ වනවිට වසර 152ක ඉතිහාසයක් ඇති අතර එය මෙරට ඉදිවූ ප‍්‍රථම නගර සභාවද වෙයි.   


 කෞතුක වටිනාකමින් යුත් මෙහි සභා ශාලාව මහජන ප‍්‍රදර්ශනය සඳහා එ​ෙළසින්ම පවත්වාගෙන යමින් නව සභා ශාලාවක් වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉදිකරන බවද කොමසාරිස්වරයා කීය.   


 නාගරික ලේකම් තක්සේරු හා අභ්‍යන්තර විගණන අංශ සහිත ගොඩනැගිලි සංකීරණය තුළ නව සභා ශාලාව අලුතින් ඉදිකිරීමට දැනටමත් සැළසුම් සකස් කර ඇති අතර ඊට යාබදව මන්ත්‍රී විවේක ශාලාවක් ගොඩනගන බවද හෙතෙම සඳහන් කළේය.   


නව සැලැස්ම පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23) නගර සභාවට පැමිණීමටද නියමිතව තිබිණි.