ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති දැඩි සීමා ලිහිල් කෙරෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති දැඩි සීමා මෙවර අයවැයෙන් ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

දේශීයව නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ හා ද්‍රව්‍ය ආනයනය සඳහා මෙම ලිහිල් කිරීම සිදුවනු ඇති බවද හෙතෙම කීවේය.   


මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය සඳහා අයවැයෙන් අවසර ලැබෙනු ඇති බවද පැවැසේ.   


මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආදිය ආනයන තහනම දිගටම ක්‍රියාත්මක වුවහොත් මෙරට කර්මාන්ත පවත්වාගෙන යා නොහැකි මට්ටමට පත්වනු ඇති බැවින් මෙම ලිහිල් කිරීම සිදුවනු ඇති බවද වාර්තාවේ.   


කොවිඩ් 19 හේතුවෙන්, විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ හා ඩොලරයේ අගය ඉහළ යාම වැළැක්වීමේ පියවරක් ලෙස ආනයන සඳහා රජය විසින් පසුගිය කාලයේ දැඩි සීමා පනවනු ලැබීය.