ඉවතලන මුඛ ආවරණ සෝදා කැබලි කරන්න


(උපුල් වික්‍රමසිංහ)   

පරිහරණය කර ඉවතලන මුඛ ආවරණ බැහැර කිරීමේ දී ඒවා හොඳින් සෝදා වේළා කැබලි කර වෙනම මලුවලට දමා පළාත් පාලන ආයතනවල කසළ එකතු කරන ස්ථානවලට හෝ රථවලට ​හෝ බාරදීම වැදගත් යැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   

එ​සේම භාවිත කර ඉවත් කරන ලද මුඛ ආවරණ වළ දමන්නේ නම් එහි දී ද ඒවා සබන් මිශ්‍ර ජලයෙන් හොඳින් සෝදා වේලා කැබලි කළ යුතු බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතුන්ට පොළොව හාරා ඒවා ඇද ගැනීමට නොහැකි වන ලෙසත් ජල සීරා හෝ මූලාශ්‍ර හෝ සහිත ස්ථානවල වළ නොදැමීමටත් වගබලා ගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.   


පරිහරණය කර ඉවතලන මුඛ ආවරණ පරිසරයට බැහැර කිරීමේ දී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇතැයි ද ඒ මහතා කීය.