උතුරට දේශපාලන විසඳුමක් නව ව්‍යවස්ථාවෙන් ඕනෑ - දෙමළ සන්ධානය


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අනිවාර්යෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට වගන්තියක් ඇතුළත් විය යුතු යයි දෙමළ සන්ධානය අවධාරණය කරයි.  

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුවට තම ස්ථාවරය ඉදිරිපත් කරන බව දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.  
ලබන පෙබරවාරි 6 වැනිදා එම විද්වත් කමිටුව විසින් දෙමළ සන්ධානයේ නියෝජිතයා හමුවීම සඳහා ආරාධනා කර ඇත.  


දැනට දෙමළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ සිය ගැටලුවලට ​දේශපාලන විසඳුමක් නොමැති කමයි.  
එසේ දේශපාලන විසඳුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොකර නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පළක් නොවන බව සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.   


මීට පෙර ඒ සඳහා එකඟතාවක් තිබුණ ද එය ක්‍රියාත්මක නොකිරීම නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් නොලැබෙන අතර ලබන 6 වැනිදා එම විද්වත් කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.