මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
(ජයන්ත සමරකෝන්)
එංගලන්තයෙන් මෙරටට කුණු ගෙන්වා ඇත්තේ 2013 මහින්ද රාජපක්ෂ රජයේ ගැසට්ටුවකින් බවට රජය ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බවත් එසේ නම් එම ගැසට් පත්‍රය අවලංගු කර පෙන්වන්නැයි ඔවුන්ට අභියෝග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් ඊට අවසර ලැබී ඇති බවට ව්‍යාපාරිකයින් කීප දෙනෙකු අතර හටගෙන ඇති උත්තේජනයක් මීට හේතු වී ඇතැයි ද ඒ අනුව දැනට ගෙන්වා ඇති කසළ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව, බාසල් සම්මුතියට අනුව නීති මගින් කටයුතු කළ හැකි බව ද මන්ත්‍රීවරයා කීය.
සිංගප්පූරු ගිවිසුමට අනුව එරටින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නීතිමය ප්‍රතිපාදන සළසා ඇතත් එංගලන්තය වැනි වෙනත් රටවලින් එවැන්නක් ගෙන්වීමට කිසිදු අවසරයක් නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළුව රට පුරා විද්වත් සංගම් රාශියක් සිංගප්පූරු ගිවිසුමට එරෙහිව කළ දැඩි මතවාදයක් රට තුළ ගෙන ගිය ද ඇතිවී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් දෙයක් බව ද 2013 ගිවිසුම මීට කිසි ලෙසකින් වත් සම්බන්ධ නොවන බව ද ඔහු කීවේය.
2013 වසරේ නිකුත් කර ඇත ගැසට් පත්‍රය මගින් රේගු ආඥා පනතේ හා ආගමන විගමන ආඥා පනතේ විධිවිධානයන්ට අනුව කසළ අපද්‍රව්‍ය ආනයනයට කිසිදු හිමිකමක් පවරා නැතැයි ද මන්ත්‍රීවරයා වැඩිපුරටත් අනාවරණය කළේය.