එකවර මුළු මුදලම එපා ඡන්දෙට බිලියන පහක් ඇති


ඡන්ද කොමිසම මුදල් අමාත්‍යාංශයට කියයි 

දයාසීලි ලියනගේ  

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වැයවන රුපියල් බිලියන 10ක මුදල එකවර අවශ්‍ය නොවන අතර මැතිවරණය පැවැත්වීම සඳහා මූලිකව බිලියන 5ක පමණ මුදලක් ප්‍රමාණවත් වන බව මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.


මැතිවරණ කොමිසම හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නේ යැයි මැතිවරණ 
කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

ඉතිරි මුදල අවශ්‍ය වන්​ෙන් මැතිවරණයෙන් පසුව වන නිසා සම්පූර්ණ මුදල එකවර අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට පෙන්වා දුන් බවද නීතිඥ පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.  
 
රජයට මුදල් නොමැතිකමේ ගැටලුකාරි තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන් බවද ඔහු කීය. රජය බරපතළ ආර්ථික අර්බුදයක පැවතුණත් නීතිමය වශයෙන් මෙම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇති නිසා මුදල් යෙදවිය හැකි ආකාරයට මැතිවරණය පැවැත්විය යුතු බව පෙන්වා දුන් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.  
රජය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය නිසා එකවර මෙම මුදල ලබාදීමක් අවශ්‍ය නොවන අතර මැතිවරණයට පෙර රුපියල් බිලියන 5ක් ලබාදී මැතිවරණයෙන් පසු සිදුවන ගෙවීම් සඳහා ඉතිරි මුදල් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 
 
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් තිදෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. මැතිවරණයට මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැ‌ඳවා සාකච්ඡා කළ බවද ඔහු කීය.