(අජන්ත කුමාර අගලකඩ)
හෙට (01) පැවැත්වෙන මැයි දින රැලියෙන් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රීලනිපයේ මැයි දින රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙන අතර, ඊට සහභාගි නොවී, ගාලුමුවදොර පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සහභාගි වෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ගැටඹේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැලියට අනිවාර්යයෙන් සහභාගිවන්නැයි දන්වමින්, සියලුම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීන්දු කර තිබිණි.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරනු ලැබූ අතර, ඊට සති කිහිපයකට ඉහත දී, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබීය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනකු පමණ මේ වන විට ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.