සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම එන සතියේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
ලබන 05 වැනිදා (සඳුදා) පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී විශ්වාසභංග යෝජනාව භාරදීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාවට චෝදනා පනහකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වීම විශේෂත්වයකි.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විශ්වාසභංග යෝජනාවකට වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
කථානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන ගමන් නිවාස නොමැති ඇමතිවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට දෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ නිල නිවසක් ලබාගැනීම, කථානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේට ද කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් අංක 4-3 දරන නිවාසය පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දී රජයට පාඩු කිරීම සහ රාජ්‍ය දේපොළ අවභාවිතයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම, කථානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ වන කොට්ට උර සහ තුවා ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යෑමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ WP NC4923 වෑන් රථයද ලබාගෙන එම වාහන වලටද ඉන්ධන ලබා ගැනීම, කථානායක මාධ්‍ය ඒකකය නමින් ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම, කථානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමග දිවා ආහාරය ගෙන අමුත්තකුට ගෙවිය යුතු මුදල නොගෙවා සිටීමෙන් පාඩුවක් කිරීම සහ කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔවුන් ඉල්ලන පහසුකම් නොදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කථානායකවරයා සහ පෞද්ගලික ලේකම්වරයා දෝෂාරෝපණය කරමින් ඔවුන් ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර පාලනයට මැදිහත්වීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම යනාදී චෝදනා මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වේ.

